මම ප්‍රතිපත්තියක් වශයෙන් මාගේ ලිපි තුල පුද්ගල අනන්‍යතා සඳහන් කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ දරමි. එයට ප්‍රධාන හේතුවක් වනුයේ ලියවිල්ල මගින් මා ගොඩනැගීමට උත්සාහ කරන ආඛ්‍යානය (narrative) පුද්ගලානුබද්ධ වීම වැළක්වීමටය. නමුත්, මේ සිද්ධිය පිළිබඳව “කරේ කවුද” නොකියා “වුණේ මොනවාදැ”යි කිව නොහැකි නිසා, අකමැත්තෙන් වුවත් මෙම ප්‍රතිපත්තියෙන් අද දින මදක් බැහැර වීමට සිදුවන බව සටහන් තබනු කැමැත්තෙමි.

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන මුල්ම හාහූව කරලියට ආ දිනයේ සිට, එයට ඇති විරෝධය කරපින්නා ගත් විපක්ෂය, එම ක්‍රියාදාමය අඩපණ කර දැමීමට ගත හැකි සියලු උත්සාහයන් ගත් බව අපි හොඳින් දනිමු. එම සංශෝධනය පිළිබඳ ඇති විවිධ මතිමතාන්තර අතර, සමාජ වටිනාකම්, සදාචාර සම්පන්න දේශපාලන භාවිතාව, වැනි භාවාත්මක කාරණා මත පදනම්ව ගොඩනැගුණු, අතිශය සාධාරණ විරෝධතාවල තිබූ බර ද හෑල්ලු කර දැමීමට, විපක්ෂය ප්‍රමුඛ අශුද්ධ සන්ධානයේ විරෝධය ඉවහල් වූ බව පැහැදිලිය. “කරපුවා ගැන දන්න නිසා හොරු, මිනීමරුවො අල්ලනවට බයේ වැලලෙන්න හදනවා” වැනි අදහසක් පොදු සමාජය තුල ඇති වීමට මේ විරෝධය මග පෑදූ බව මගේ අදහසයි.

විපක්ෂයේ විරෝධය අමුතුම ජාතියේ දිශාවකට එලඹෙන්නේ, විපක්ෂ නායකවරයා අගෝස්තු 2 වන දින කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියකින්, යෝජිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අදාළ කරුණු පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා 2026 අගෝස්තු 5 වන බදාදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට ආරාධනා කර ඇති බවත්, ඒ අනුව කටයුතු සම්පාදනය කරන ලෙසත්, දැනුම් දුන් පසුබිමකය. ඉන් අනතුරුව සිදුවූ ලිපි හා පණිවුඩ හුවමාරු කිහිපයකින් පසුව, නීතීඥ සංගමය විසින් විපක්ෂ නායක වෙත යවන ලද, 2026 අගෝස්තු 19 දාතම දරන පහත ලිපිය, සමාජය තුල සැලකිය යුතු කැලඹීමකට තුඩු දෙන්නක් විය.

basl_letter_to_opposition_leader.png

ඉංග්‍රීසි බසින් ලියැවුණු මෙම ලිපියෙහි අඩංගු කරුණු වලිනුත්, පහත වාක්‍යය, විශේෂයෙන්ම එහි ඇති threat යන වචනය දැඩි මතභේදයකට තුඩු දෙන්නට හේතු වූ බව සඳහන් කල යුතුමය.

However, in light of the proceedings in Parliament today, i.e. 19.08.2026, and the position of the Government expressed threat, there appears to be no consensus on the same, nor interest presently by the Government to provide this opportunity to its Members of Parliament.

මෙම මතභේදාත්මක තත්වය තව දුරටත් ව්‍යාකූල කරවන ලද්දේ එම වාක්‍යය පිළිබඳව ලංකාවේ ප්‍රකට පුවත්පතක්, සහ තවත් ප්‍රකට විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් විසින් අවස්ථා කිහිපයකදී කරන ලද කරුණු විමසීම් වලදී, නීතීඥ සංගමය පාර්ශවයෙන් ලැබුණු පරස්පර විරෝධී පැහැදිලි කිරීම්ය. එම කරුණු විමසීම් වල කාලානුක්‍රමික සංක්ෂිප්තය මෙම වෙබ් පිටුවෙන් උපුටා ගත් අන්දමට, පහත පරිදී වේ.

However, over the course of a single afternoon, a number of differing explanations were provided about the wording used in the letter.

When News 1st contacted BASL President Rajeev Amarasuriya at 1.10 p.m., his response was:

“Take the contents of the letter. Call later for further details.”

Later, at 2.06 p.m., News 1st sought clarification from BASL Secretary Nalin De Silva. His response was:

“The letter does not refer to any threatening statement made by the Government.”

The matter took another turn at 3.33 p.m., when Dinamina reported that Rajeev Amarasuriya had indicated that the disputed wording could have been “there at” rather than “threat.”

Following that report, News 1st once again contacted BASL Secretary Nalin De Silva at 4.09 p.m. seeking further clarification.

At that stage, the BASL Secretary stated that:

“‘Threat’ is the correct word. Rajeev told Dinamina to correct it.”

Shortly afterwards, at 4.33 p.m., Dinamina reported that Rajeev Amarasuriya had telephoned the newspaper again and clarified that the wording was not “there at”, but in fact “threat”, meaning a threat.

අනෙකුත් සියලු සාකච්ඡා, මතිමතාන්තර පසෙකින් තබා, මෙම ප්‍රශ්නගත වාක්‍යයේ අර්ථය කුමක්දැයි අපි මොහොතකට කල්පනා කර බලමු. මේ සඳහා මුලින්ම, භාෂා පරිවර්තනය පිළිබඳ ප්‍රකට අන්තර්ජාල යෙදුමක් වන Google Translate, සහ දෙවනුව උත්පාදක කෘත්‍රිම බුද්ධි (Generative Artifical Intelligence) පරිගණක වැඩසටහනක් වන ChatGPT යන යෙදුම් පාවිච්චි කිරීමට මම තීරණය කළෙමි. ඒ, එකිනෙකට කිසිදු සහසම්බන්ධයක් නැති මූලාශ්‍ර දෙකකින්, මෙම කාරණය ගැන දේශපාලන පක්ෂග්‍රාහීකම් වලින් කිලිටි නොවූ අදහසක් ගොඩනගා ගැනීම අරමුණු කරගෙනය.

google_translate_threat.png

ඉහත රූපයේ ඇත්තේ, Google Translate වැඩසටහන මගින් ලිපියේ සඳහන් වාක්‍යය ඒ අයුරින්ම ගෙන සිංහල භාෂාවට පරිවර්තනය කළ විට ලැබෙන ප්‍රතිඵලයයි. එම වැඩසටහනම මගින්, ඉහත වාක්‍යයේ ඇති threat යන වචනය thereat ලෙස වෙනස් කර සිංහලයට පරිවර්තනය කළ විට ලැබෙන ප්‍රතිඵලය පහත පරිදී වේ.

google_translate_thereat.png

ChatGPT භාවිතයෙන් ලබාගත් ප්‍රතිඵල ද මේ හා සමපාත වන බව, පහත රූප වලින් මනාව පැහැදිලි වේ. ඊට අමතරව, ChatGPT ඔස්සේ ඔබට ස්වභාවික භාෂාවෙන් ප්‍රශ්න කිරීමෙන් මේ ගැන වැඩිදුර තොරතුරු විමර්ශනය කිරීමේ හැකියාවද ඇත. එසේ විමසන ලදුව පිළිතුරු ලෙස ලද කරුණු වලට අනුව, දෙවන වාක්‍යය ඉංග්‍රීසි භාෂාවේ රීතීන්ට වඩා අනුකූල බව පැහැදිලිවම විද්‍යාමාන වේ. මෙම ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වන බැවින්, ඒ ගැන වැඩිදුර විස්තර මෙහි ඇතුලත් නොකරමි. ChatGPT, Google Translate ආදී සේවාවන්ට විවෘත ප්‍රවේශය ඇති නිසා, මේ තොරතුරු සොයාබැලීම පාඨක ඔබටද කළ හැකි බවත් මතක් කරනු කැමැත්තෙමි.

chatgpt_translation_1.png chatgpt_translation_2.png chatgpt_translation_3.png

#1: However, in light of the proceedings in Parliament today, i.e. 19.08.2026, and the position of the Government expressed threat, there appears to be no consensus on the same, nor interest presently by the Government to provide this opportunity to its Members of Parliament.

කෙසේ වෙතත්, අද දින, එනම් 2026.08.19 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු සහ රජයේ ස්ථාවරය තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, ඒ පිළිබඳව කිසිදු එකඟතාවයක් හෝ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට උනන්දුවක් නොමැති බව පෙනේ.

#2: However, in light of the proceedings in Parliament today, i.e. 19.08.2026, and the position of the Government expressed thereat, there appears to be no consensus on the same, nor interest presently by the Government to provide this opportunity to its Members of Parliament.

කෙසේ වෙතත්, අද දින, එනම් 2026.08.19 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු සහ එහිදී රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන ලද ආකාරය අනුව, ඒ පිළිබඳව කිසිදු එකඟතාවයක් හෝ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට උනන්දුවක් නොමැති බව පෙනේ.

මෙම සිංහල පරිවර්තන දෙක සලකා බැලු කල, ඉතාම පැහැදිලි වන්නේ threat යන වචනය භාවිත වන පළමු වාක්‍යය ව්‍යාකූල සහ අපැහැදිලි අර්ථයක් ඇති බවය. අනෙක් අතට, thereat යන වචනයෙන් සමන්විත දෙවන වාක්‍යය, ඉතා පැහැදිලි අර්ථයක් ඇති සහ ඒ අර්ථයට හානි නොවන පරිදී කුඩා වාක්‍ය කිහිපයකට පහත පරිදි විභේදනය කළ හැකි වාක්‍යයක් බව, සාමාන්‍ය පෙළ සිංහල විෂය සමත් අයෙකුට වුව පහසුවෙන් වටහාගත හැකිය.

  1. අසවල් දවසේ පාර්ලිමේන්තුව පැවැත්වුණා.
  2. එහිදී නීතීඥ සංගමය කරන්න යන වැඩේ ගැන රජයේ ස්ථාවරය කිව්වා.
  3. රජය සහ විපක්ෂය මේ කාරණාව ගැන එකඟතාවක නෑ.
  4. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව මේ වැඩේට සහභාගී කරවන්න උනන්දුවක් රජය පැත්තෙන් නෑ.

මේ කාරණා එක්ව ගෙන සළකා බැලූ විට ඉතාම පැහැදිලිව පෙනෙන කාරණාව නම්, thereat ලෙස ලියැවිය යුතුව තිබුණු වචනය threat ලෙස ලියැවීම යතුරුලියන දෝෂයක් වීමට ඇති ඉඩකඩ වඩා වැඩි බවය. අනෙක් අතට, නෛතික භාෂා භාවිතය ලියැවිල්ල පුරාම විද්‍යාමාන වන මෙම ලිපිය හරහා, “ආණ්ඩුව අපිට තර්ජනය කළා” යන පණිවුඩය දෙන්නට, මේ සා දුර්වල හා ව්‍යාකූල ලෙස threat යන වචනය ඒ වාක්‍යය තුල භාවිත කළ බව පිළිගැනීමට මට නම් අපහසුය. නීතිවේදය වැනි භාෂා හැකියාව මත පදනම් වූ වෘත්තීයක නියැලෙන අයගෙන් එවැනි දුර්වල භාෂා භාවිතයක් බලාපොරොත්තු විය නොහැකි බව මම කල්පනා කරමි. මාධ්‍ය ආයතන විසින් කළ විමසීම් වලට නීතීඥ සංගමයේ පරස්පර විරෝධී ප්‍රතිචාරයන් සලකා බැලීමේදී, මේ වග වඩාත් තහවුරු වේ.

කෙසේ වෙතත්, නීතීඥ සංගමයේ වත්මන් ස්ථාවරය ඔවුන්ගේ සැබෑම ස්ථාවරය, එනම් “මෙහි යොදාගෙන ඇති වචනය සත්‍ය වශයෙන්ම threat ය” යන්න නම්, එයින් ගම්‍ය වන්නෙ, ඔවුන්ට හරි හැටි ඉංග්‍රීසි බැරි බවය. එය එසේ නොවේ නම්? ප්‍රශ්නය ඇත්තේ එතැනය. සත්‍ය වශයෙන්ම සිදුවූයේ යතුරුලියන දෝෂයක් නම්, එයින් ගම්‍ය වන්නේ නීතීඥ සංගමය තමන් අතින් සිදුවූ අත්වැරැද්දකින්, ඉතාම පහත් පෙලේ දේශපාලන වාසියක් ලබාගැනීමට විපක්ෂයට ඉඩ හසර ලබාදී සිටින බවය. එතනින් නොනැවතී, සිය සංගමයේ සාමාජිකයන්ට මේ බොරුව තව දුරටත් කියමින් ඇවිදින්නට ඉඩ හැර සිටීමෙන් නීතීඥ සංගමය සිය සදාචාරාත්මක බංකොලොත් භාවය ප්‍රකට කරමින් සිටින බව නම් නොකියාම බැරිය.

තමන් කැමති දේශපාලන මතයක් දැරීමට, එම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සැමට අයිතියක් ඇත. එපමණක් නොව, ප්‍රකට ප්‍රංශ ලේඛකයෙකු හා දාර්ශනිකයෙකු වන වෝල්ටෙයා (Voltaire) සඳහන් කළ පරිදී, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති මතයක් දැරීමට ඇති නිදහස වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී සිටිමි. නීතීඥ සංගමයට මෙම කාරණාවේදී ඔවුන්ට අභිමත තැනක සිට ගැනීමට ඇති අයිතිය වෙනුවෙන්ද එය එසේම වේ. නමුත් ප්‍රශ්නය වන්නේ තමන්ගේ වත්මන් ක්‍රියාකලාපය හරහා ඔවුන් යලි යලිත් ප්‍රකට කරමින් සිටින සදාචාර සෝදාපාළුවයි. ප්‍රශ්නය වන්නේ එලෙස හැසිරෙන අතරතුර තමන් සියලු නීතීඥ ප්‍රජාව නියෝජනය කරන්නෙ යැයි කියමින්, නීතීඥ වෘත්තීයේ ගරුත්වය කෙළෙසීමයි. වඩාත් බරපතල ප්‍රශ්න වන්නේ වෘත්තීය සංවිධානයක් ලෙස සමාජය මත තමන්ට ඇති බලපෑම උපයෝගී කරගනිමින් නීතීඥ සංගමය විසින් සෙල්ලම් කරන, කැත, නින්දිත සමාජ දේශපාලනික පන්ති සූදුව සහ, වෘත්තීය සංවිධානයක් ලෙස තමන් වෙත ඇති ජාත්‍යන්තර පිළිගැනීම හා සම්බන්ධතා භාවිතා කරමින්, රටේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ අණ්ඩුවකට වක්‍රාකාරයෙන් එල්ල කරන අනිසි බලපෑමයි.