බැල්කනියද? මහපාරද?
(2021 මාර්තු 14 දාතම දරණ ලංකාදීප පුවත්පතේ තක්සලාවේ “බැල්කනියට වැරැන්ඩාවට බුදුරජාණන් වහන්සේ විසිකළ අඳබාල බෞද්ධයෝ” යන මැයෙන් පළවූ ලිපිය අනුසාරයෙනි.)
“මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි” යන්න, අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන, ඉතාම ප්‍රකට ත්‍රීවීල්, ටැක්සි, ප්‍රයිවෙට් බස් වාක්‍යයකි. සමහරක් දේසපාලුවන්ට අනුව එය එසේ නොවේ. එහි සත්‍යාසත්‍යතාව කවරාකාර හෝ වේවා, ථෙරවාද බුදු දහම බොහෝ හොඳින් මුල්බැසගෙන දළු ලා වැඩෙන්නටත් ඒ හරහා මේ පුණ්‍ය භූමියේ මතු නොව සකල ලෝකවාසී ජනී ජනයාගේ යහපත වෙනුවෙන් ථෙරවාද බුදු දහම වසර දෙදහස් පන්සියයකටත් ඔබ්බෙන් පවතින්නටත් කාරණා යෙදුනු බව අවිවාදාත්මකය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අනේකවිධ කම්කටොළු උහුලාගනිමින්, තමන් වහන්සේ විසින්ම ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන සකල ලෝකවාසී සත්වයා කෙරේ අපරිමිත දයානුකම්පාවෙන් දේශනා කොට වදාළූ සිද්ධාර්ථ ගෞතමයන් ඇතුළු සියලු බුදුවරයන් කෙරේත්, උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් අනතුරුව වසර දෙදහස් පන්සියයකට ඔබ්බෙන් ඒ ධර්මය රැකගෙන අප වෙත දායාද කල සංඝයා වහන්සේලා කෙරේත් මාගේ සිතෙහි ඇත්තේ අපරිමිත කෘතඥතාව මූලික වූ ගෞරවයකි. මේ අයුරින් වචන අමුණන්නට මා හට ඇති එකම හේතුව එකී කෘතඥතාවයයි. ඒ කෘතඥතාව හැරුණු කොට බුදුන් වහන්සේලා හෝ සඟුන් වහන්සේලා ගැන වෙනත් කිසිදු අදාලත්වයක් මා හට නැති බව මෙහිලා ඉඳුරාම සඳහන් කල යුතුය. ඔවුන් වහන්සේලාද අවසන අප වැනිම මනුෂ්‍යයන් පමණි. බෞද්ධයෙකු වශයෙන් මා හට අදාල වන, සහ අදාල විය යුතු එකම දෙය සියලු බුදුවරයන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුනු ධර්මය පමණක් යැයි මම කල්පනා කරමි.
සිංහල බෞද්ධයන් බහුතරයකගේ දේශපාලන, සංස්කෘතික හා සමාජ භාවිතාව “අඳබාල” එකකැයි මා කල්පනා කරන්නේ අද ඊයේ සිට නොවේ. නමුත් ඒ අඳබාල කමට හේතුව, උක්ත දාතම දරණ “බැල්කනියට වැරැන්ඩාවට බුදුරජාණන් වහන්සේ විසිකළ අඳබාල බෞද්ධයෝ” යන ශීර්ෂයෙන් යුත් ලිපියේ කතෘ ස්වාමීන් වහන්සේ සඳහන් කරන අන්දමට “සිය නිවසේ බුදු පිළිමය බැල්කනියට වැරැන්ඩාවට දැමීම” නොවේ. උක්ත දාතම දරණ ලිපියෙන් උන්වහන්සේ බෞද්ධයන් වෙත එල්ල කරන චෝදනා පත්‍රය පිලිබඳ තවදුරටත් සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි. ඒ හැර, මේ ලිපියේ මා සඳහන් කරන කාරණා වලින් තමන්ට අභිමත කොටස් තෝරාගෙන මාගේ සිංහලකම හෝ බෞද්ධකම ගැන ප්‍රශ්න කරන්නට උත්සුක වීම කාලය කා දැමීමක් පමණක් බැව් යෝජනා කරනු කැමැත්තෙමි. එපමණක් නොව, මට හැඟෙන දැනෙන හැටියට ඉහත ලිපියේ අඩංගු කාරණා හරහා “ආගම හා ධර්මය අතර පටළැවිල්ලක්” විද්‍යාමාන වේ. මේ උත්සාහය ඒ ගැන මට දැනෙන හැටියට පැහැදිලි කරගන්නටය.
ශාසන ඉතිහාසය ගැන මාගේ දැනුමේ හැටියට බුද්ධ ප්‍රතිමා පිළිබඳ ඉතිහාසය බුද්ධ කාලය දක්වාම දිවයයි. කෝසල බිම්බ වර්ණනාවේ සඳහන් වන පරිදී, පසේනදී කෝසල රජුගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් ලද අවසරය පරිදී, රජු විසින් සඳුන් හරයකින් කරවූ පිළිම වහන්සේගෙන් ඇරඹුණු බුද්ධ ප්‍රතිමා පිළිබඳ සංස්කෘතිය ක්‍රමයෙන් විකාශනය වී අද වන විට විහාරස්ථානවල මතු නොව “බැල්කනි” වල සහ “මහපාරවල් ගණනේ, හන්දියක් ගණනේ” අප දකින බුදු පිළිමය දක්වා පැමිණ ඇත. මේ කුමන ආකාර කතා කීවත් බුදු පිළිම නිර්මාණයේ අරමුණ පිළිබඳ තර්ක දෙකක් නැති බැව් පැහැදිලිය. එම අරමුණ නම්, අප අතරින් වෙන්ව අජර අමර නිර්වාණාප්‍රාප්ත වූ, ගුණ නැණ බෙලෙන් අග තැන් පත් ඒ සොඳුරු මනුෂ්‍යයාණන් වහන්සේගේ ජීවමාන ආදර්ශනයක් ලෙස භාවිතා කිරීම සඳහා යන්නය. මට හිතෙන හැටියට නම් සැබෑ බෞද්ධයෙකුට කිසිදු අවස්ථාවක “බුද්ධ පූජාව පිලිගැනීමට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙනවාද?” යන ප්‍රශ්නය ඇති නොවිය යුතුය. සරලවම ගත් කල එය වැඩකට නැති ප්‍රශ්නයකි. අනෙකුත් සියළු සත්ත්වයන්ගේ මෙන්, සතර මහා භූත රූපයෙන් සැදුම්ලත් බුද්ධ කායත් සනාතන ධර්මතාවක් වන අනිත්‍යය පසක් කරමින්, ලෝකයට විසිරී ගොස් අවසන් බව අවිවාදාත්මකය. ඒ පිළිබඳව කෙරෙන සියලු ආකාරයේ සාකච්ඡා, තර්ක විතර්ක, වාද විවාද ආදිය පදනම් විරහිත “සම්ඵප්‍රලාප” විනා වෙන අන් යමක් නොවන බව මම කල්පනා කරමි. නමුත් මා ඉහත කී ලිපිය ආරම්භ වන්නේ ඒ කාරණාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහදිලි කරමිනි.
එපමණක් නොව, බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද බුද්ධ අධිෂ්ඨානයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව බෞද්ධයන් විසින් අවබෝධ කරගත යුතු යැයි උක්ත ලිපියෙහි මුලින්ම සඳහන් වේ. එය තව දුරටත් විග්‍රහ කරමින් එහි කියැවෙන්නේ අප සියලු දෙනා පිළිබඳව බුදු ඇසින් දැකීමෙන් කරන ලද ප්‍රාර්ථනා ඇති බවය. නමුත් ඒ ප්‍රාර්ථනාවන් කවරේද, එකී ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමෙන් අපට ලැබෙනුයේ මොනවාද යන ප්‍රශ්න කිසිවකට පිළිතුරු එහි සඳහන් වන්නෙ නැත. සමහර විට ඒවා ගැන එම ලිපිය තුල සාකච්ඡා කිරීම මාතෘකාවෙන් බැහැර වීමක් යැයි සිතා, ඒවා ගැන එම ලිපිය තුල සාකච්ඡා නොවූවා වන්නටද පිළිවන. මේ කොයි හැටි වෙතත් මෙහි ඇති ලොකුම අවුල මේවා “ධාර්මික කාරණා”, නොහොත් “ධර්මයට අයත් හෝ ඒ පිළිබඳ කාරණා” ලෙස ලඝු කිරීමට ඉහත ලිපියෙහි උත්සුක වී තිබීමය. මෙය කියවන බෞද්ධ අබෞද්ධ සියලු දෙනාට ඉතා පැහැදිලිව කිවයුතු වන්නේ මේවා කිසිවක් “ආගම පිළිබඳ කාරණා” විනා “ධර්මය පිළිබඳ කාරණා” නොවන බවය. මාගේ දහම් දැනුමට අනුව නම් අභිධර්මයේ කිසිදු තැනක “නිවැරදිව බුද්ධ පූජාවක් කරන්නේ කෙසේදැයි” කියා ඉගැන්වෙන්නේ නැත. චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, කුසලාකුසල කර්ම, නීවරණ ධර්ම, සංයෝජන ධර්ම, ත්‍රිලක්ෂණය වැනි ලෝකයේ හා විශ්වයේ යථා ස්වභාවය පැහැදිලි කෙරෙන ධර්ම කාරණා අතර “නිවැරදිව බුද්ධ පූජාවක් කරන්නේ කෙසේද?” යන මාතෘකාව ගැන සඳහන් කිරීම පවා එකකට එකක් නොගැලපෙන බව බුද්ධ ධර්මය ගැන සාමාන්‍ය කියවීමක් ඇති අයෙකුට වුවද වැටහෙනු ඇති බව මම කල්පනා කරමි.
ඔබ මීගමුව කොළඹ (A3) මහා මාර්ගයේ ගමන්කොට ඇත්නම්, ඒ මාර්ගයට සම්බන්ධ වන මංසන්ධියක් ගණනේ සවිකොට ඇති “සුරුවම්” දැක ඇතැයි මම සිතමි. එක් එක් කතෝලික, ක්‍රිස්තියානි පල්ලීන්ට අදාල කිසියම් මුනිවරයෙක්, ශාන්තුවරයෙක් ආදී කෙනෙකු සිහිකෙරෙනු වස් තනන්නට යෙදුනු මෙකී “සුරුවම්” මීගමු පාරේ පමණක් ඉතා විශාල සංඛ්‍යාවක් ඇතිවාට සැක නැත. මේවායේ යටි අරමුණ වෙන අන් කවරක්වත් නොව ක්‍රිස්තියානි, කතෝලික ආගම්වල භූමිය මත ව්‍යාප්තිය සනිටුහන් කිරීමය. මේ කියන්නේ එය ගැටළුවක් කියා නොවේ. නාමිකව හෝ නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාද්වීපයේ ආගමික නිදහස සනිටුහන් කරන්නට ඊට වඩා හොඳ ක්‍රමයක් ගැන කල්පනා කිරීමත් අපහසුය. නමුත් භූමියේ ආගමික ව්‍යාප්තියේ නාමයෙන් දෙවියන් වහන්සේ පාරට ඇද දැමීම මාගේ ආකල්පයේ හැටියට නම් විකාර වැඩකි.
අවාසනාවක මහත නම් බුද්ධියට ආමන්ත්‍රණය කෙරෙන ධර්මයක අනුසාරයෙන් සිය ජීවිතය හැඩගස්වා ගන්නේ යැයි කියන බෞද්ධයාත්, කිතුණුවන් හා තරගයට බුදුරජාණන් වහන්සේ පාරට ඇද දැමීමය. අද සාමාන්‍ය පෙල අසමත් වන තරුණයෙකු මුලින්ම කරන්නේ කීයක් හෝ උපයා ගන්නට ගෙවල් ලඟ හන්දියට ත්‍රිරෝද රථයක් දැමීමය. ටික දිනකින් මෙහි එකතුවන ත්‍රිරෝද රථ ධාවකයෝ කිහිපදෙනා කාගේ කාගේ හෝ මුදල් එකතුකොට “හන්දියේ වීල් පාක් එකේ” බුදු පිළිම ගෙයක් කරවති. මෙහි මල් පහන් සුවඳ දුම් පූජා කරන ඔවුහු හවසට “සෙට් වී අඩිය ගසන්නේද” බුදු ගෙය අසලමය. අර බුදු පිළිම වහන්සේ අව් වැසි දූවිලි උවදුරු උහුලමින් මහපාර දෙස අනුකම්පාවෙන් බලා වැඩ හිඳිති. බුදු පිළිම වහන්සේලා මහ මං අයිනේ විදින කටු කොහොල් ගැන අපේ ස්වාමීන් වහන්සේලා බහුතරයකට වගේ වගක් නැත. බුදු පිළිමයට මල් පහන් පිදීමෙන් ඔබට බුද්ධාගමිකයෙකු විය හැක. නමුත් බුද්ධ දේශනානුකූලව තම දිවි පෙවෙත ගොඩ නගා ගන්නට උත්සාහ දැරීම ආරම්භ කරන තුරු ඔබට බෞද්ධයෙකු විය නොහැක. අගනුවරට ආසන්නයේ පර්චස් හයක අමාරුවෙන් ගෙයක් හදාගත් බෞද්ධයෙකු සිය බුදු කුටිය බැල්කනියේ තැනීම ගැන හෝ එලෙස සෑදූ බුදු කුටියේ දිග පළල උස ගැන විස්සෝප වනවා වෙනුවට, “හරියට බුද්ධ පූජාව කරපං, හරියට හාමුදුරුවන්ට දානෙ ටික දීපං” ආදිය කියමින් බෞද්ධයාව “ආගමානුකූල” දිවියකට තල්ලු කරනවා වෙනුවට අරි අටඟි මගට ප්‍රවිෂ්ඨ වී “ධර්මානුකූල” දිවි පෙවෙතකට බෞද්ධයා හැඩගස්වන්නට ස්වාමීන් වහන්සේලා උත්සුක නොවීම කණගාටුවට කරුණකි. එපමණක් නොව “සුපටිපන්න” යැයි තමුන්ව හඳුන්වා ගනිමින්, පන්සල්වලට වී අධික කාමභෝගී ජීවිත ගත කරමින් පෘථග්ජන අපට “අඳබාල බෞද්ධයන්” යැයි කීම “වීදුරු ගෙවල් තුල හිඳ පිටතට ගල් ගැසීමක්” හා සමාන බව උන්වහන්සේලාට නොවැටහීම සිංහල ජාතියේ අවාසනාවකි.
අනික් අවුල “බුද්ධ පූජාව තබන පාත්‍රයේ ප්‍රමාණය” පිළිබඳව සාකච්ඡාවය. බෞද්ධයෙක් වශයෙන් මේවා ගැන ලියා තබන්නට සිදුවීමම එක්තරා අන්දමක විහිළුවකැයි මට සිතේ. “සුජීවත්ව වැඩ වෙසෙන බුදු කෙනෙකුගේ කුස පිරෙන තරමේ ආහාර ප්‍රමාණයක්” පිළිමයකට පූජාකොට, එය කූඹින් කැරපොත්තන් වසා පිළුණු වූ පසු කුණු බක්කියට විසි කරනවා වෙනුවට, කුසගින්නෙන් පෙලෙන පුද්ගලයෙකුගේ සුදහ ගින්දර නිවන්නට එම ආහාර වේල යොදා ගැනීම වඩා ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් යැයි මම කල්පනා කරමි. මේ කියන්නේ ඔබ බුද්ධ පූජාව නොකල යුතු යැයි කියා හෝ බුද්ධ පූජාව වෙනුවෙන් ඉවතලන, වැඩකට නැති ආහාර පූජා කල යුතු යැයි කියා නොවේ. ඔබ බුද්ධ පූජාව කල යුතුය. බුද්ධ පූජාව වශයෙන් ඉවතලන ආහාර පූජා නොකල යුතුය. නිවසේ ඇති දැඩි කෙරෙන සුරතල් බල්ලාටවත් නොදෙන ඉවතලන ආහාර බුදුන්ට පූජා කරනවාට වඩා බුද්ධ පූජාව නොකිරීම යහපති. නමුත් ඔබ බුද්ධ පූජාව පිළියෙල කරන විට, එය අනිවාර්යයෙන්ම කැරපොත්තන්ගේ කූඹින්ගේ ආහාර වන බවත්, පිළුණු වූ පසු කුණු බක්කියෙන් කෙළවර වන බව සිහිතබා ගත යුතුය. ඔබ පූජාකරන බුද්ධ පූජාවේ ගුණාත්මක බව ඉහලින්ම පවත්වා ගන්නටත්, ප්‍රමාණය පිළිබඳව සාධාරණව කල්පනා කිරීමටත් ඔබ වගබලා ගත යුතු බව මාගේ අදහසයි.
අපෙන් බණට ආරාධනා ලබන බහුතරයක් ස්වාමීන් වහන්සේලා බණට වැඩමකොට අප පූජා කරන ගිලන්පස වලඳා ඉන් අනතුරුව අපටම “අඳබාල බෞද්ධයන්” යැයි පරිභව කරති. ගෑණුන්ගේ කොට ගවුම, හිර කලිසම, ස්ට්‍රේට් කර කලර් කරන ලද කොණ්ඩය ගැන දෙස් දෙවොල් තබති. රියැලිටි සංස්කෘතියට “ඇට්ටි හැලෙන්නට” පහර දෙති. එක්කෝ තමුන්ගේ අප්‍රියතම දේසපාලුවාගෙ පළු අරිති. එසේ නැතිනම් තම ප්‍රියතම දේසපාලුවා ගැන ප්‍රශස්ති ගයති. මේ ආදී දෙලොවටම වැඩක් නැති සමාජ විවේචන වලට පැයක් දෙකක් නාස්තිකොට අප පූජා කරන පිරිකරද රැගෙන නැවත පන්සලට වඩිති. ඒ හැර බුදුන් වහන්සේ අපවෙත දේශනා කොට වදාල, ලෝකයේ යථා ස්වභාවය, සත්වයාගෙ උපත හා විපත, කර්ම විපාක ආදී සංකල්ප අපවෙත පහදා දී අපගේ පෘථග්ජන ජීවිත ඒවාට අනුකූල කරගන්නේ කෙසේද, ඒ හරහා වඩා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමටත්, එය මෙලොව පරලොව යහපත වෙනුවෙන්, සසර ගමනේ කෙළවර වෙනුවෙන් යොදවා ගන්නේ කෙසේද යන්න ගැනත් උන්වහන්සේලා අපට පහදා දෙන්නේ ඉතාමත්ම කලාතුරකිනි. බුදුන් වහන්සේ සෝපාකට දහම් දෙසන්නට පළමු, සෝපාකව ගැට ගසා තිබූ මළ සිරුරෙන් ලෙහා අමු සොහොනෙන් මුදවා ගත් සේක. සුනීතට දහම් දෙසන්නට පළමු සුනීතව නරාවලෙන් ගොඩට ගත් සේක. පටාචාරාවට දහම් දෙසන්නට පළමු, පටාචාරාවගේ විලි වැසූ සේක. අපේ ස්වාමීන් වහන්සේලාට අප කෙරේ එතරම් අනුකම්පාවක් පහල නොවීම බෞද්ධ අපගේ පව්කාර කම විනා අන් කවරක්වත් නොවේ. බෞද්ධයන්ට එදිරි අන්‍යාගමීකරණය මේ තරම් පහසු වන්නට ප්‍රධානම හේතුව බෞද්ධ භික්ෂු නායකත්වයේ මේ අනුකම්පා විරහිත ආකල්පයන් බව මෙහි සඳහන් කරනුයේ හද පිරි කණගාටුවෙනි.
කම් නැත. බුදුන් වහන්සේ විසින්ම දෙසා වදාල පරිද්දෙන් “අත්තාහි අත්තනො නාථො” නොහොත් “තමාට පිහිට තමා පමණක්ම” වේ. ඔබ රැස්කරන කුසල් වලින්, ඔබට අපායේ නොවැටී නිර්වාණාවබෝධය කරනු පිණිස මග තැනෙනු ඇත. ඔබේ වීර්යය වඩා, බුද්ධිය වෙහෙසවා ඒ ගමන යා යුතු වන්නේ ඔබ විසින්ම බව තරයේ සිහි තබා ගත යුතු බැව් මම කල්පනා කරමි. බුදුන් වහන්සේ විසින්ම වරෙක දේශනා කල පරිදී ධර්මය යනු පහුරකි. ඒ පහුර කර තබාගෙන මෙගොඩ ඉවුරේ ජෝගි නටනවා වෙනුවට, සසර නමැති බියකරු සැඩ පහරින් එතෙර වන්නට ඒ පහුර යොදා ගත යුතුය. අපේ අවාසනාවට දැන් දැන් ධර්මය යනු පහුරකට වඩා, ලිහී පැටලී ගිය වරපට වලින් අවුල් ජාලාවක් බවට පත් වූ දඬු ගොඩක් පමණක් බැව් මාගේ වැටහීමය. සසර නමැති බියකරු සැඩපහරැති දියේ හෙලා පදින්නට පෙරාතුව, ඒ අවුල ලිහා පහුර නිසිලෙස බැඳ ගැනීම අප අභිමුව ඇති මුල්ම අභියෝගාත්මක කාර්යය බව නම් පැහැදිලිය.