විනාශය/වැනසීයාම/අනියත බව” යන ඒවා මෙලොව ඇති සියලු ජීවී අජීවී සංස්කාරයන්ට පොදු ධර්මතාවයකි. ඒ හැරුණුකොට නානාවිධ ධර්මතා කොතෙකුත් ඇත. නවීන යැයි කියාගන්නා බටහිර විද්‍යාව, මේ ධර්මතාවලට අභියෝග කරමින් ඒ ධර්මතා අතික්‍රමණය කරන්නට උත්සාහ කරන්නේ අද ඊයේ සිට නොවේ. “අම්මෝ විද්‍යාව! ඒක පට්ට දියුණුයි, හරි ෂෝයි!” ආදී කයිවාරු පම්පෝරි, අපි “පණ යනකම්” අසා ඇත්තෙමු. ඒ සියලු පම්පෝරි කයිවාරු කාරයන්ට හොම්බට අනින්නට මේ වසර මුලදීම ස්වභාව ධර්මයා තීරණය කළේය. ප්‍රතිඵලය වූයේ, මේ වන විටත් මිලියන දෙකකට ආසන්න ජනයාට මරු කැඳවූ නව කොරෝනා වෛරසයේ ආගමනයයි. නවීන පන්නයේ සෞඛ්‍ය, තාක්ෂණික ආදී යටිතල ව්‍යුහයන්ගෙන් සමන්විත යැයි, අප මහ ඉහළින් සැමරූ සියළු ජාතීන් දණගස්වන්නට නව කොරෝනා වෛරසය සමත් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. කෙදිනක හෝ අපේ මතු පරම්පරාවන් “අපෝ උඹලා මහ ලොකුවට කයිවාරු ගැහුවට වෙලා තියෙන්නෙ මෙහෙමනේ” කියා අපේ මුහුණටම කිවහොත්, අපට කට උත්තර නැති වනවා නොඅනුමානය.

ස්වභාව ධර්මය තුළ සියළු ජීවී කොට්ඨාශයන්ට එදිරිව, තම පැවැත්මට අභියෝග කරන කාරණා රැසක් පවතී. ලෙඩරෝග, විලෝපිකයන් ආදී මෙකී නොකී කාරණා සියල්ල පවතින්නේ එක් එක් ජීවී කොට්ඨාශයේ ගහනය පාලනය සඳහාය. මේ පාලක ධර්මතාවන් අප විසින් “සතුරන්” ලෙස හඳුන්වන්නට උත්සුක වුවත්, සත්‍ය වශයෙන්ම ඒවා සතුරන් නොවන බව මාගේ අදහසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයත් සමග, විවිධ පාර්ශවයන් විවිධ පාර්ශවයන්ට ඇඟිල්ල දිගු කිරීමට උත්සුක වූ අතර, එසේ චෝදනාවට ලක් වූ සමහර පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයන් ඔස්සේ ඔවුන් “තොප්පිය දාගත්” අයුරක්ද පෙනී යයි. කොයි හැටි වෙතත් ඒ සියළු ආකාරයේ විගඩම් ඔස්සේ යළි යළිත් සනාථ වූයේ සත්ත්ව කොට්ඨාශයක් වශයෙන් මානවයා කෙතරම් භේද භින්නව පවතීද, ඒ භේද භින්න කම් කෙතරම් භයානකද යන්න පමණකි.

මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය දෙස බලන කල, “ශිෂ්ටාචාරය” යන වචනය එයට සුදුසු නැති බව මාගේ වැටහීමයි. ඉතිහාසය පුරා සිදුවූ, අවාසනාවකට මෙන් තව දුරටත් සිදුවෙමින් පවතින ලේ වැගිරීම් දෙස බලන කල, එවන් ලේ වැගිරීම් තිරිසන් සතුන් ගහනයන් තුළ වත් සිදු නොවෙන බව නොකිවමනාය. ශරීර ස්වභාවය අතින් දුර්වලම සතුන්ගෙන් එකෙක් වූ මානවයා, මොළයේ මහිමයෙන් ආහාර දාමයේ ඉහලටම පැමිණෙන්නට සමත් වූ බව පැහැදිලිය. එසේ තම පැවැත්ම සනාථ කරගන්නට සමත් “ශක්තිවන්තයා” වන්නට මානවයාට හැකි වූ නමුත්, ඒ පැවැත්ම පිළිබඳ සැක සංකා මතුවෙමින් පවතී. එයට මූලිකම හේතුව වන්නේ, කෙතරම් බුද්ධිය තිබුණද, සිය පැවැත්මට එදිරි ප්‍රධානතම සතුරා කවරෙක්ද යන්න වටහා ගැනීමට මානව වර්ගයා අසමත් වීමයි.

මට දැනෙන හැටියට එකී ප්‍රධානම සතුරා නම් “*වාදය” යි. “මේ මොන හරුපයක්දෑ?” යි කල්පනා කරන ඔබට පහතින් සඳහන් වචන ලැයිස්තුව සලකා බලන ලෙස මම යෝජනා කරමි.

  • අධිරජවාදය/අධිරාජ්‍යවාදය (Imperialism)
  • කොමියුනිස්ට්වාදය (Communism)
  • ධනවාදය (Capitalism)
  • සමාජවාදය (Socialism)
  • ප්‍රජාතන්ත්‍රවාදය (Democracy)
  • ස්ත්‍රීවාදය (Feminism)
  • පුරුෂවාදය (Masculinism)
  • ෆැසිස්ට්වාදය (Fascism)
  • බුද්ධිවාදය (Rationalism/Intellectualism)
  • ලිංගභේදවාදය (Sexism)
  • ජාතිවාදය (Racism)
  • ආගම්වාදය (Religionism)
  • සමානාත්මතාවාදය (Egalitarianism)
  • රැඩිකල්වාදය හා ප්‍රතිරැඩිකල්වාදය (Radicalism & Anti-Radicalism)
  • ශාකාහාරවාදය (Vegitarianism)
  • නිදහස්වාදය/මධ්‍යස්ථවාදය/ස්වතන්ත්‍රවාදය (Liberalism)
  • සංසිද්ධි වාදය (Phenomenalism)
  • පරිපූර්ණතාවාදය (Perfectionism)
  • ත්‍රස්තවාදය (Terrorism)
  • සංරක්ෂණවාදය (Conservatism)

යනාදී වශයෙන් මෙකී ලැයිස්තුව ඉතාම දිගු එකක් බවට පත්වන්නට ගතවන්නේ ඉතාම කෙටි කාලයකි. මේ සියළු ආකාර වාදයන් හා අනුරූප ඉංග්‍රීසි නම් බොහෝ විට අවසන් වන්නේ “ඉස්ම් (ism)” ප්‍රත්‍යයෙන් බැවින් “අපේ කාලයේ අනන්ත ජින” නොහොත් ගූගල් ගෙන් මේ ගැන විමසූ කල මට ලැබුණු ප්‍රතිඵලයකි මේ. මෙකී ලැයිස්තුවේ ඇති, “ඉස්ම්” ප්‍රත්‍යයෙන් අවසන් වන වචන 760ක් පමණ අතරින් 80% පමණ, කිසිදු වාදයකට අයත් නොවේ යැයි සැලකූවත්, එසේ කිසියම් වාදයක් හැඳින්වෙන පද 150ක් පමණ තිබේ යැයි අපට සාධාරණ වශයෙන් අනුමාන කළ හැකිය. මේ නයින් බලන කල මානව ජාතිය, එසේ නැතහොත් මානවයා නම් සත්ත්ව කොට්ඨාශය මේ වනවිටත් අවම වශයෙන් කැබලි 150කට වත් බෙදී වෙන්වී ඇති බව ඉතාම පැහැදිලිය.

මේ කුමන වාදය පිළිබඳව කවර කතා කීවද, මේ සියලු වාදයන් සතු එක් පොදු ලක්ෂණයක් ඇත. එය නම් මේ සියලු වාදයන් වල ඇති දැඩි අන්තගාමී ස්වභාවයයි. මේ සියලු ආකාරයේ වාදයන්ගෙන් මූලිකවම උත්සාහ කෙරෙන්නේ සමාජය හා එහි සංරචකයන් ස්ථායි රාමුවකට/පීල්ලකට එකෙල්ල කිරීමටය. මේ සියලු වාදයන් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාර්ථීන්ට අනුව, ඔවුන්ගේ වාදයෙන් පිට කිසිදු විකල්පයක් නැත. උදාහරණ වශයෙන් ගත් කල, ධනවාදී අර්ථ ක්‍රමයක් තුල රාජ්‍යයට අයත් ව්‍යවසායන් සඳහා පැවැත්මක් නැත. රාජ්‍යයට අයත් ව්‍යවසායන් පෞද්ගලීකරණය කරන තුරු ධනවාදීන්ට නින්ද නොයන්නේ එබැවිනි. ෆෙඩරල්වාදී දේශපාලන සන්දර්භයක් තුල, මධ්‍යගත පරිපාලනයකට ඉඩ නැත. ලංකාවේ ෆෙඩරල්වාදීන් ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා “මැරෙන්න හදන්නේ” එබැවිනි. බුද්ධිවාදී චින්තනයක් තුල, භාවාත්මක සංකල්පනාවන්ට ඉඩ නැත. බුද්ධිවාදීන්ට හැඟීම් වලට ඉඩ දෙන මිනිසුන් මෝඩයන් හෝ දුර්වලයන් ලෙස පෙනෙන්නේ එබැවිනි. සංක්ෂිප්තව කිවහොත් මෙකී සියලු වාදීන්ට, නොඑසේනම් කිසියම් වාදයක් තුල අන්තගාමීව එල්බගත්තවුන්ට, සමාජයේ සෑම දෙයක්ම ද්වීමය (binary) කාරණාවන්ය. ඔවුන් සියලු දේ පිළිබඳ තීන්දු තීරණ ගන්නේ, ක්‍රියාත්මක වන්නේ මූලික වශයෙන් “මගේ වාදයට එකඟද? නැද්ද?” යන කාරණාව මත පදනම්වය. ඒ හැර, උචිත අනුචිත බව, සාධාරණය, යුක්තිය වැනි කාරණාවලට මේ වාදීන් සංවේදී නැති තරම්ය. සමාජවාදය වේවා, ප්‍රජාතන්ත්‍රවාදය වේවා, මේ සියලුම ආකාරයේ වාදයන් තුල මෙවන් අන්තගාමී මූලධර්මයන් කොතෙකුත් ඇති බව නොකිවමනාය.

මීට අමතරව මේ සියලුම වාදයන් තුල මට පෙනෙන අනෙකුත් පොදු කාරණාව නම් මේවායේ ඇති දැඩි අනම්‍යශීලී භාවයයි. එනම් කිසියම් වාදයක් ගොඩ නැගී ඇති/ඇතැයි කියැවෙන මූලික හරයන්ගෙන් විතැන් වීමට දක්වන ප්‍රතිරෝධයයි. මෙකී ප්‍රතිරෝධය නිසා ඇතිවන නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වන්නෙ “වෙනස්කම් සඳහා ඇති වන ප්‍රතිවිරුද්ධතාවය”යි. මෙකී සියලු වාදයන් බිහිවන්නේ ඉතිහාසයේ ඒ ඒ කාල පරාසයන් තුල පැවති සමාජ සන්දර්භයන් මත බව අප සියලු දෙනාම අවිවාදයෙන් පිළිගත යුතුමය. මේවා බොහොමයක ජනනය හා ඉතිහාසය දෙස බලන කල, එක් එක් කාල පරාසයන් තුල සමාජයේ පැවති විවිධාකාර හැල හැප්පීම් වල ප්‍රතිඵලයන් ලෙස එකී වාදයන් ගොඩ නැගී ඇති බැව් පැහැදිලිය. එමෙන්ම කිසියම් වාදයක ප්‍රතිඵලයක් ලෙස හෝ කිසියම් වාදයකට එදිරිව හෝ විකල්ප වශයෙන් ගොඩනැගුනු වාදයන් ද ඇත. උදාහරණ වශයෙන් ගත් කල, යුරෝපාකරයේ ජාතිවාදය යනු යුරෝපයේ මුල් බැසගෙන ඇති අධිරාජ්‍යවාදයේ හා ධනවාදයේ සෘජු ප්‍රතිඵලයකි. කොමියුනිස්ට්වාදය උපදින්නේ ධනවාදයට එදිරි “එකම විකල්පය” වශයෙනි. මින් පෙර වාක්‍ය දෙකෙහි මා විසින් සඳහන් කරන්නට යෙදුනු වාදයන් හතර “අධිරාජ්‍යවාදය”, “ධනවාදය”, “කොමියුනිස්ට්වාදය” හා “ජාතිවාදය” ගැන නැවත කල්පනා කර බලමු. මෙකී වාදයන්ගේ නාමයෙන්, හෝ ඒවායෙහි ප්‍රතිඵල වශයෙන් මිනිසුන් කී දෙනෙක් ඝාතනය වන්නට ඇතිද? ඔබත් මමත් අප සැවොම පිළිගත යුතු යථාර්ථය නම්, එකී පැනයට පිළිතුර ගැන මෙය කියවන ඔබට හෝ මට අල්පමාත්‍ර හෝ අදහසක් නොමැති බවය. තමුන් එල්බගත් කිසියම් වාදයක නාමයෙන් තවත් පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කරන්නට, මානසික රෝගියෙක් නොවන කෙනෙක් උත්සුක වන්නේ නම් එයින් කියැවෙන්නේ එක්කෝ ඒ පුද්ගලයාගේ වරදක් ඇති බවය. එසේ නොමැතිනම් ඒ වාදයෙහි කිසියම් වරදක් ඇති බවය. මේ දෙකෙන් එකක්වත් යහපත් ලක්ෂණ නොවන බව අමුතුවෙන් කිව යුතු නොහේ.

මේ සියළු කාරණා කාරණා අතර, එකක් ඉතාම පැහැදිලිය. එනම් මේ සියළු ආකාරයේ වාදයන්ට උඩගෙඩි දෙමින් මේවා අවුස්සා තබමින් මේවා නිසා සමාජය තුල ඇතිවන කුණු කන්දල් වලින් බඩ ගෝස්තරය වඩා ගන්නට වෙර කන සල්ලිකාර අතලොස්සකින් සැදුම්ලත් පැලැන්තියක් අප අතර සිටින බව ය. මට දැනෙන හැටියට වර්තමානයේ “රට” නමැති සංකල්පය හුදු වෙස් මුහුණක් පමණි. සත්‍ය වශයෙන්ම ගත් කල රටවල් නොමැති තරම්ය. ඇත්තේ “සමාගම්” ය. ලෝක බලවතුන් යැයි සැලකෙන අමෙරිකාව, චීනය, රුසියාව, ප්‍රංශය ආදියෙන් ආරම්භ වී ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදිය ඔස්සේ සෝමාලියාව, ඉතියෝපියාව ආදිය දක්වා සියළුම ඒවා සැබැවින්ම “රටවල්” නොව “සමාගම්” බව ඉතාම පැහැදිලිය. නිපුණතාව මත නොව බලය හා ධනය අවභාවිත කරන්නන්ගේ උවමනාවන් මත ගොඩනැගුණු, එවැන්නන්න් විසින් ඉහල මට්ටම් අරක් ගැනුනු ධූරාවලීන් මගින් පාලනය කෙරෙන මෙම “සමාගම්” වල මෙකී ධූරාවලීන්ගේ ඉහලින් වැජඹෙන මෙම තක්කඩියන්ගේ උවමනා එපා කම් වලට අනුව, මෙකී ධූරාවලීන්ගේ පහල මට්ටම් වල ජීවිතය වෙනුවෙන් අනවරත අරගලයක යෙදෙන දුර නොදක්නා මිනිසුන් ඉහතින් සඳහන් කල නානාවිධ වාදයන් ඔස්සේ බෙදී වෙන්වී කුලල් කා ගනිමින් සිටින බැව් මගේ වැටහීමයි. ලෝකයේ ඇති ස්වෛරී රාජ්‍යයන් අතුරෙන් සියල්ලක්ම පාහේ මෙවැනි “සමාගම්” යැයි මට හැඟෙන බැව් මෙහි ලියා තබන්නේ හද පිරි කණගාටුවෙනි.