මේ පශ්චාත් මැතිවරණ සමයයි. අමුතු ආකාරයේ නාඩගම් කල එලි බසින කාලයයි. බලය තහවුරු කරගත්තෝ බලය අහිමිවූවන්ට කෝචෝක් දමමින්, කට මැත දොඩවමින් සිය පාක්ෂිකයන් හමුවට ගොස් පාරේ රතිඤ්ඤා දල්වමින්, කිරිබත් කැවුම් කමින් ඩෙඟා නටති. බලය අහිමිවූවෝ එක්කෝ “අපිට ප්‍රතිසංවිධානය වෙන්න තියෙනවා” කියා ජනමාධ්‍ය ඉදිරියේ “පොඩි ලයින් එකක් දී” තමුන්ගේ ගුලට රිංගා ගනිති. එසේත් නැතිනම් එක පිට එක මාධ්‍ය සාකච්ඡා කැඳවමින් “අපි මේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඡන්දෙ දාපු මිනිස්සු මෝඩයි.” ආදී කතා කියති. ඒ අහු අස්සට මෙවර කොරහ බිඳගෙන ගිය යකෙකුද කරලියට පැමිණ ඇත. මේ යකා ඇතුළු නඩය “ඕක තමා මම කිව්වෙ. දැන්වත් මට ලොකු පුටුව දීලා පලයන්.” කියමින් සිටිති. ඔය අස්සට කේන්දර/ජ්‍යෝතිෂ කාරයන්ගේ “ඔන්න මගේ අනාවැකිය හරි” ආදී කයිවාරු, යක්ෂයාට තම ආත්මය විකිණූ දේශපාලන විචාරයකයන් සහ මාධ්‍යවේදීන් වැනි අයගේ අජූව කතා ආදිය එක් වූ විට මේ නාඩගම ඉතාම විකාරරූපී හාස්‍යජනක එකක් බවට පත්වේ. රටම “ආතල්” ලෝකයකි.

මේ මැතිවරණයේ ප්‍රතිඵල දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කාරණා කිහිපයක් ගැන ඡන්දදායකයන් වශයෙන් ඔබත් මමත් ඉතාම සුපරීක්ෂාකාරීව සලකා බැලිය යුතු බව මම කල්පනා කරමි. ඉහත කී “පශ්චාත් මැතිවරණ ආතල්” අස්සේ ඒ වැදගත් කාරණා අපගේ අවධානයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්නට අප වග බලාගත යුතුය. සමහර දිස්ත්‍රික්ක වල මුල් පෙල මනාපලාභීන් පිළිබඳව මම අවංකවම සතුටු වෙමි. ඔවුන් පාර්ලිමේන්තුවට නවකයන් වුවද, මැතිවරණයට ඉදිරිපත් වීමට පළමු ඔවුන් විසින් ඉටු කල කාර්යභාරය ප්‍රශංසනීය බව අප ඉඳුරාම පිළිගත යුතු බව මාගේ අදහසයි. මම “වොච්ඩෝග්” මාධ්‍යවේදියෙක් නොවෙමි. (බල්ලා යන වචනය තිබූ පමණින් “වොච්ඩෝග්” යන වචනය වැරදියට වටහාගෙන වල්ගය පාගා ගන්නවුන් ගැන මට ප්‍රශ්නයක් නැත. වල්ගය පෑගී මල පැන්න අයෙක් වේනම් “වොච්ඩෝග් ජ’නලිස්ම්” යන්න ගූගල්හි සොයාබලන මෙන් මම යෝජනා කරමි) මම වොච්ඩෝග් මාධ්‍යකරණයේ නොයෙදෙන බැවින්, මෙකී පුද්ගලයන්ගේ ජීවිතවල රහස්‍ය කාරණා (උදා: කවුරු හරි ජඩ පොලිටික්කෙක් එක්ක ඩීල් දානවද? හොරකම් කරන්න වංචා කරන්න කැස කවනවද? එහෙම හොරකම් වංචා දූෂණ පිළිබඳ ඉතිහාසයක් තියෙනවද? රට විකුණන්න යටින් ඩීල් දානවද?) පිළිබඳ මම නොදනිමි. මට මේ ගැන ඇති වටහාගැනීම පදනම් වන්නේ මේ පුද්ගලයින් හා සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශය වන කාරණා වලට අනුවය. රට ජාතිය හා සම්බන්ධ කාරණාවලට ඔවුන්ගේ මැදිහත්වීම් දෙස බලන විට, ඔවුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් සාධනීය කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි. මේ පුද්ගලයන්ගේ ජීවිත හා සම්බන්ධව කිසියම් යටිපෙල ක්‍රියාදාමයන් පවතින්නේ නම් ඒවා ගැන රටට හෙලිදරව් කිරීමේ වෘත්තීයමය වගකීම ඇත්තේ “වොච්ඩෝග්” මාධ්‍යවේදීන් සතුවය.

සමහර දිස්ත්‍රික්ක වල ඡන්දදායකයන් ඥානාන්විත ලෙස කටයුතු කරද්දී, දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල අතිශය පුදුම සහගත බව පෙනී යන අතර ඒ දිස්ත්‍රික්ක වල ඡන්දදායකයන්ගේ සමහර තෝරාගැනීම් අතිශය විපරීත, මතභේදාත්මක බව පෙනේ. මෙකී පුදුම සහගත ප්‍රතිඵල අතරින් වැදගත්ම ප්‍රතිඵලය වන්නේ රත්නපුර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයයි. රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනියා මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණ දඬුවමට යටත්ව බන්ධනාගාරගත කර සිටින අයෙක් වීම මෙකී අතිශය විපරීත සිද්ධියයි.

මේ හා සම්බන්ධව විශ්ලේෂණාත්මකව කල්පනා කර බලන කල, මට පෙනෙන හැටියට මෙහි ඉතාම බරපතල කාරණා දෙකක් මම හඳුනා ගනිමි. මූලික වශයෙන් මෙම චූදිතයා වරදකරු වන්නේ 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ සිදුකල වෙඩිතැබීමක් හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයකටය. මරණ දඬුවම පිළිබඳ තීන්දුව ලැබුණු 2020 ජූලි 31 වන විට මේ සිද්ධිය වසර 4කුත් මාස 10කටත් වඩා පැරණි සිද්ධියකි. මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ලබා දී තිබූ අවසන් දිනය වන 2020 මාර්තු 18 වන විටත් ඉහත කී සිද්ධිය වසර 4කටත් වඩා පැරණිය. මට හිතෙන හැටියට නම් නාම යෝජනා භාරදෙන කාල වකවානුව වන විට මේ නඩු කටයුත්තේ අවසානය පිළිබඳ කිසියම් ඉඟියක්, අදහසක් මේ සියළු දෙනාටම නොතිබුණේ යැයි සිතීම විහිළුවකි. මේ පුද්ගලයා මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයේ නාම යෝජනා පිළිබඳ වගකිවයුතු නායක කාරකාදීන් හට අඩුම වශයෙන් “බොලේ! නිකං හරි මේ මිනිහට මරණ දඬුවම හම්බුනොත් මොකද වෙන්නෙ?” යන්න සලකා බැලිය යුතුව තිබුණු බව ඉතාම පැහැදිලිය. නමුත්, කුමක් හෝ කාරණාවක් නිසා එය එසේ නොවුණි. එක්කෝ එකී නායක කාරකාදීන්ට එය අමතක වූවා විය යුතුය. එක්කෝ ඔවුන් එක නොසලකා හැරියා විය යුතුය. මේ දෙකම නැතිනම් ඔවුන් එය හිතාමතාම සිදු කලා විය යුතුය. මේවායෙන් කොයි එක වෙතත්, එය ඉතාම බරපතල තත්වයක් බව නොකිවමනාය.

දෙවැන්න, මොහුට මනාපව කතිරය ගැසූ රත්නපුර දිස්ත්‍රික් ඡන්දදායකයන් පිළිබඳවය. “බෙල්ලට මූට්ටු වෙලා ඔළුවක් තිබ්බට, ඒක අස්සෙ මොළයක් තිබ්බට මිනිහෙක් බුද්ධිමතෙක් වෙන්නෙ නෑ” යන කාරණාව සාධනය කිරීමට රත්නපුර ඡන්දදායකයන් තරම් හොඳ උදාහරණයක් සොයාගත නොහැකි තරම්ය. “දෙයිහාන්දුරුවනේ, මේ මිනිහා මිනී මරලා අච්චු කරපු එකෙක්. මම මූට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා හරියාවියෑ!” යන ඉතාම සරල කාරණාව කල්පනා කර බලන්නට තරම් ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වී නොතිබීම ගැන මම ඉතාම කණගාටු වෙමි. “ගින්නක් නැතිව දුමක් කොයින්ද” යන්න පැරණි ආප්තෝපදේශයකි. එය ඒ හැටිම සත්‍ය නොවුනත්, අඩුම තරමින් 95%ක් වත් දුම් වලට ගින්නක් හේතුවන බව අපි අත්දැකීමෙන් දනිමු. එසේ දැන දැනත්, දුමක් නගින තැනක, දුම නොසලකා හරිමින් පෙට්‍රල් වත් කරන්නට යාම කොතරම් අනුවණ සහගත දැයි නොකිවමනාය. “හරි! කවුද දන්නෙ රත්නපුර උසාවියෙන් එයාට අනිවාරතේ අච්චු කලාද කියලා? මිනිහා ඇත්තටම වරදක් නොකලා නම්?” යන තර්කය යමෙකුට ගෙන ආ හැක. තත්වය එසේ නම්, අප මුලින්ම කලයුත්තේ අපේ අධිකරණ පද්ධතිය නිවැරදි කිරීමය. තත්වය එසේ නම් මේ රට මේවන විටත් ඉතාම බරපතල අඩියකට වැටී ඇති බැව් නොකිවමනාය. ඒ හැරත්, ඔබ ඝන වනාන්තරයක අතරමංව කුසගින්නේ සිටින අවස්ථාවක් ගැන කල්පනා කර බලන්න. රතු පැහැහෙන් දිලෙන නොහඳුනන ඵලයක් දකින ඔබ, ඒ ඵලය විෂක්දැයි අල්ප මාත්‍ර හෝ සැකයක් ඇත්නම් ඔබ එය අනුභව කරනවාද? ඔබේ පිළිතුර “තමුසෙට පිස්සුද ඕයි?” වැන්නක් බව මට උදක්ම විශ්වාස ය. මින් පෙර මැතිවරණයක වැඩිම උගතුන් සිටිත් යැයි කියූ සියනෑ කෝරලයෙන්, “ව්‍යවස්ථාව” “ප්‍රජාතන්ත්‍රවාදය” යන වචන හරි හැටි උච්ඡාරණය කිරීමටවත් නොහැකි නලඟනක් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවූ බැව් මට මේ මොහොතේ සිහියට නැගේ. රුවන්පුර ඈයන් සියනෑ කෝරල වාසීන්ට නොදෙවෙනි හපන්කමක් මෙවර කල බව ඉතාම කණගාටුවෙන් වුවත් සඳහන් කල යුතුමය. සිරිලක් අම්මාගේ කුමක් හෝ අවාසනාවකට, ඇගේ සමහර දරුවන් හට කොයි තරම් මොළය තිබුණත්, ඔවුන් එය පාවිච්චි කරන අන්දම ඉතාම කණගාටුදායක ය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම බලසම්පන්න පරිපාලන රාමුවකි. ඒ ගැන තර්ක දෙකක් නැත. නමුත් එහි සාර්ථකත්වයට බලපාන ප්‍රධානම කාරණය වනුයේ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට සිය ඡන්දය භාවිත කරන මහජනතාවගේ හැසිරීමය. දයාබර ඡන්දදායකයිනි, කරුණාකර ඔබේ ඔළුව ඇත්තේ අලංකාරය උදෙසා තොප්පි දැමීමට හෝ කොණ්ඩා මෝස්තර දැමීමට පමණක් නොව, එතුල ඇති මොළය අවශ්‍ය අවස්ථාවන් හිදී පාවිච්චි කිරීම සඳහාද බව වටහා ගන්න. එය අවශ්‍ය විට පාවිච්චි කිරීමට පසුබට නොවීමටද වගබලා ගන්න. ඔබ ඔබේ ඔළුව හරි හැටි පාවිච්චි කරන තාක්, ප්‍රජාතන්ත්‍රයේ ප්‍රබලතම සාධකය වන සර්වජන ඡන්ද බලය සබුද්ධිකව, සවිඥානිකව භාවිතා කරන තාක්, ප්‍රජාතන්ත්‍රය පජාත වී යාම වැලැක්විය නොහැකිබවත් තරයේ වටහා ගන්න.