මේ ලිපියට පසුබිම් කතාව සපයන්නේ මීට දින දෙකකට පමණ පෙර ඇස ගැටුණු පහත සඳහන් සිරස්තලයයි.

***ගේ සහ ***ගේ ප්‍රකාශ ගැන විමර්ශනයක්…

එම පුවතට අදාල වැඩිදුර විස්තර වලට අනුව මෙම විමර්ශනය දියත් කිරීමට හේතු වශයෙන් සඳහන්ව තිබුණේ, මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාම පිළිබඳව මහජනයා තුල අනියත බියක් ඇතිවන අයුරින් මේ මන්ත්‍රීන් දෙදෙනා විසින් ජඩමාධ්‍ය ඉදිරියේ සිදු කරන්නට යෙදුනු ප්‍රසිද්ධ ප්‍රකාශයන් ය. කිසිදු පුදුමයට කාරණාවක් මෙහි නැති වීමද එක් අන්දමකට පුදුම සහගතය. කවර හෙයින්ද යත්, මේ දෙදෙනාම නම ගිය වාචාලයන් වීම නිසාය. මේ දෙදෙනා අතරින් එකෙක් කටේ තොලේ නොගෑවී බේගල් ඇදබෑම පිළිබඳව කුප්‍රකට ඉතිහාසයක් ඇත්තෙක් වීම නිසාය. අන්‍යන්ට අපහාස අවලාද නැගීම පිළිබඳව නම් දැරූවෙක් වීම නිසාය. කොටින්ම කිවහොත්, මේ අතරින් එක් කටක් අපේ ආදරණීය සිරිලක් අම්මාට ශාපයක් බවට පත්ව ඇති නිසාය.

ඒ අප දන්නා හරියය. නමුත් ඒ දන්නා දේවල් ගැන හාරා අවුස්සමින් මෙය කියවන ඔබගේ කාලය කා දමන්නට අවශ්‍ය නැත. මේ ලිපියේ අරමුණ වන්නේ මේ සිද්ධිය හරයා යළිත් වරක් තහවුරු වන, නමුත් ඔබගේ විමර්ශනාක්ෂියට මෙතෙක් හසු නොවූ (හෝ හසු කරගන්නට ඔබට වුවමනාවක් නොතිබූ) කාරණා තුනක් ගැන රටේ පරමාධිපත්‍ය බලධාරී ඡන්දදායක ඔබගේ අවධානය යොමු කරවීමයි. එබැවින් පක්ෂ දේශපාලනයෙන් ඔබේ ඔළුව ඔද්දල් කරවූ පාට කණ්නාඩි ගලවා තබන්නට හැකිනම් පමණක් මේ ලිපිය මෙතැනින් ඉදිරියට කියවන්නටත්, එසේ නොහැකි නම් කරුණාකර වෙනත් වැඩක් බලා ගන්නටත් ඔබට යෝජනා කරනු කැමැත්තෙමි.

මුල්ම කාරණාව වන්නේ මෙම සිද්ධියත්, මෑත කාලීනව සිදුවූ මේ හා සමාන සිද්ධි වලදීත් ජඩමාධ්‍ය වල හැසිරීමය. මා මුලින් සඳහන් කල පරිදී මේ සිද්ධියට අදාල එක් අයෙක් බොරුකාර, වංචාකාර, තක්කඩියෙකි. මේ තක්කඩියා මීට ඉතාම සුළු කාලයකට පෙර කුප්‍රකට මාධ්‍ය සාකච්ඡාවක් නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වූවෙකි. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කල කාරණා පිළිබඳව සිදු කල විමර්ශන වලින් අනතුරුව ඒවා පදනම් විරහිත පට්ටපල් බොරු කප්පරක් බව තහවුරු විය. දැන් ඒ ගැන චෝදනා ගොනුවී අධිකරණය ඉදිරියේ එම චෝදනා විභාග වෙමින් පවතී. එවන් පසුබිමක මෙබඳු බොරුකාරයන් විසින් කැඳවනු ලබන මාධ්‍ය සාකච්ඡාවලට, වගකිවයුතු යැයි තමන් විසින් හඳුන්වාගන්නා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සහභාගී වන්නේ “අහවල් මගුලක”ටදැයි මට වැටහෙන්නේ නැත. මට ඒ ගැන දිය හැකි හොඳම පැහැදිලි කිරීම වන්නේ, “කුණු රසය විකුණා කෑම සඳහා” යන්න පමණකි. අපේ රටේ සාතිශය බහුතරයකට, කරන්නට වැදගැම්මකට ඇති වැඩක් නැති තරම්ය. පාර අයිනේ ඇති කුණු ගොඩවල් අවුස්සමින් කුණු කන කපුටන් මෙන්, අනුන්ගේ කුණු ගඳ ගසන ඕපාදූප හාරා අවුස්සමින් කොතරම් කාලයක් ගතකරන්නේද යන්න සලකා බැලූ විට ඒ ගැන මනාව පැහැදිලි වේ. ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය වලත්, අනේකවිධ “ගොසිප් සයිට්” වලත් ලංකාවෙ උන් පලකරන දෑත්, ඒවාට දමා ඇති “කමෙන්ට්” ආදියත් බැලූ විට ඇතිවන අපුල වචන වලින් පැවසිය නොහැකි තරම් ය. සිංහල භාෂාවේ ඇති නම්‍යශීලී බව ඉතාම දරුණු ලෙස අපහරණය කරමින් පලකරන මේ අමු තිත්ත කුණුහරුප, අන්තර්ජාලය තුල චිරාත් කාලයක් පවතින බවත්, ඒවා පවතින අන්දම ගැනත්, ලංකාවේ සිටින මෝඩයන්ට නොවැටහීම ජාතියේ අවාසනාවකි. ඒවා කියවන අපේ මතු පරපුර, අපේ සොහොන් වලටත් හෙන ඉල්ලනවා නොඅනුමානය. එබඳු විලි ලැජ්ජා නැති, අමන ප්‍රේක්ෂක ශ්‍රාවක පිරිසකට ගැලපෙන්නේ කුණු පමණක් නිසා, මේ වගකිවයුතු ජඩමාධ්‍යකරුවන් කුණු සොයා යනවා විය යුතුය. අද කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් හට, කිසිදු අවශ්‍යතාවක් නැති විමර්ශනයක් වෙනුවෙන් තම කාලය හා මේ දුප්පත් රටේ සල්ලි කාබාසිනියා කරන්නට සිදුව තිබීමට එකම හේතුව “වගකිවයුතු” මාධ්‍ය භාවිතය වීම රටේ අවාසනාවකි. ඔය කියන මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍යවේදීන් කිසිවෙකු සහභාගී නොවූවනම්, මහජනයා බියපත් වන්නේත්, විමර්ශන කරන්නට සිදුවන්නේත් නැත.

දෙවැන්න, දේශපාලනයට එන්නට දත කන සන්නද්ධ හමුදා නිලධාරීන් පිළිබඳව ය. ඕනෑම කෙනෙකුට සක්‍රීය දේශපාලනයේ නිරත වීමට අයිතියක් ඇති බවට කිසිදු තර්කයක් නැත. නමුත්, පසුගිය කාලය පුරාම අපට දක්නට ලැබුනේ මව්බිම වෙනුවෙන් ලේ හලා, වීරයින් ලෙස සන්නද්ධ හමුදාවලින් විශ්‍රාම ගිය නිලධාරීන් රැසක්, දේශපාලන පොර පිටියට වැටී, සිය ආත්ම ගෞරවය කෙලෙසාගත් අන්දම ය. හමුදා නිල ඇඳුමක් ඇඳි ඕනෑම කෙනෙකුට, තමුන් ඇඳි නිල ඇඳුමෙහි ගෞරවය මරණය දක්වාම රැකීම පිළිබඳව සදාචාරාත්මක වගකීමක් ඇති බව, හමුදා නිල ඇඳුමක් ඇඳි අයෙකු වශයෙන් මම විශ්වාස කරමි. මව්බිම වෙනුවෙන් තම රාජකාරිය ලෙයින් කඳුලින් දහදියෙන් ඉටුකර විශ්‍රාම ගිය පසු, තම දිවියේ ඉතිරි කොටස, රටට හා සමාජයට නැතිනම් අඩුම වශයෙන් තමාගේ ලෝකෝත්තර ජීවිතය යහපත් කරගැනීම වෙනුවෙන් යොදවනවා වෙනුවට, අට වත් පාස් නැති, කුඩු ගංජා එතනෝල්, වංචා දූෂණ, හොර මැර ජඩකම් වලින් සමාජයේ උසස් යැයි සම්මත තැන් වලට, මෝඩයන්ව ගොනාට අන්දමින් පැමිණි ඇමති මන්ත්‍රී පණුවන්ගේ වසුරු වලින් කුණු වී ඕජස් ගලන පාර්ලිමේන්තුවට රිංගන්නට දතකන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැත. එසේ කිරීමෙන් පැහැදිලි වන්නේ, එක්කෝ ඔවුන් කියන තරම් ජාතිමාමකයින් නොවන බවය. එසේ නොමැති නම් ඔවුන් ආත්ම ගරුත්වයක් නැති මිනිස් පඹයන් බවය. කරුමයක මහත නම්, රටට සේවය කරන්නට කියා පාර්ලිමේන්තු යාමත් හරියට “කන්‍යාභාවය පරිස්සම් කරගන්නට කියා නිදි වදිනවා” වැනි තත්වයට පත්වෙමින් ඇති බව මේ නිලධාරීන් වටහා නොගැනීමය.

තුන්වැනි කාරණාව නම් “හැමදාම අහලා එපාම වෙච්ච” තැටියක් බඳු, මෙරට පරමාධිපත්‍යබලධාරී ඡන්දදායක ඔබගේ භාවිතය පිළිබඳවය. මෙම ලිපියට වස්තු බීජය සැපයූ මන්ත්‍රී දෙපලත් ඇතුළු සාතිශය බහුතරයක් දේශපාලුවනුත්, ජඩමාධ්‍යත් යන දෙකම මේ සෙල්ලම කරන්නේ ඔබ මෙයාකාර සිද්ධීන් නොදුටු නෑසුනු අන්දමට කටයුතු කරන නිසාය. එය ඔබගේ මොලය ඇතිකම ගැන ප්‍රශ්නයක් නොව, තිබෙන මොලය පාවිච්චි නොකරන කම ගැන ප්‍රශ්නයකි. ඒ හා බැඳුනු ඔබගේ පටු, ආත්මාර්ථකාමී ආකල්ප ගැන ප්‍රශ්නයකි. මේ රටේ ඇති සැබෑ ප්‍රශ්න වන දරිද්‍රතාවය, දිනෙන් දින වලපල්ලට යන ආර්ථිකය හා සමාජය, ජාත්‍යන්තර දේශපාලන බල අරගලය ඔස්සේ සිදුකෙරෙන අධිරජවාදී ආක්‍රමණ ආදී ඒවාට ඔබගේ ඇති ඉතාම දුර්වල සංවේදී බව, මේ දේශපාලුවන්ට ඔබටත් නොදැනී ඔබගේ පොකැට්ටුවට විදින්නට, රට විකුණාගෙන කන්නට පාර කපා දී ඇත. එකී ප්‍රශ්න වලට සංවේදී නොවී, ඔබගේ බඩ වියත පමණක් ගැන කරදර විය යුතු තැනකට ඔබව තල්ලු කොට ඇත්තේ මේ දේශපාලුවන් හා, උන්ගෙන් කටු කන්නට බලා හිඳින ජඩමාධ්‍ය කැනහිලුන්ය. ඒ අතරට, ඔබේ ප්‍රියතම “කුණු රසයෙන් හා මෝඩ ආතල් වලින්” අනූන කෘත්‍රිම ලෝකයක්ද ඔබ නෙත් මානයේ මවා තබන්නට මේ ජඩමාධ්‍ය සමත් වී ඇත. ඒ තිරයෙන් එපිට ඇති තිත්ත ඇත්ත ගැන ඔබ දැනුවත් කරනවා වෙනුවට, ඒ තිරය මත මැවෙන්නේ හඬපට, රියැලිටි, දේශපාලුවන්ගේ කටමැත දෙඩවීම් හා අසික්කිත මඩ ප්‍රහාර, “ෆුල් හින්දුස්ථාන්” හා නින්දට යනවිටත් සාරි අඳින හයිහීල්ස් දාන තරු පහේ පවුල් වල චූල කුටුම්භ යුද්ධ ආදිය අවුරුදු ගණන් වමාරා කන මෙගා ටෙලිනාට්‍ය යනාදියය. මේවා දෙස කට ඇරගෙන වරු ගණන් බලාහිඳින ඔබට සියළු ප්‍රශ්න අමතක වී ඔබව නිර්වින්දන තත්වයට පත් වූ පසු, ඊලඟ පියවර වන්නේ දේශපාලුවන් විසින් ඔබව කොල්ල කා රටත් විකුණා දැමීමත්, ඒ ලාභය ජඩමාධ්‍ය හා බෙදා ගැනීමත්ය. මේ විෂම චක්‍රය බිඳවැටෙන්නේ ඔබට මේ යථාර්ථය වටහා ගැනීමට හැකිවූ දිනකය.