බටුගහගේ දොන් සුමතිපාල! සුමතිපාල! නොහොත් හිතුමතේ ජීවිතේ! සමහරෙකුට අනුව තම නැගණිය කුසුමාවතීගේ ලෙයට ලෙයින් පලිගත් බිහිසුණු මිනීමරුවෙක්! තවත් කෙනෙකුට අනුව, උසස් යැයි සම්මත සමාජයේ පාපතරයින් පස්දෙනෙකුගේ පහත් ලිංගික ආශාවන් වල ගොදුරක් වී අකාලයේ මිලිනව ගිය තම නැගණියගේ ජීවිතයට සාධාරණට ඉෂ්ඨ කරනු වෙනුවෙන් ඇගේ ඝාතකයන්ව බිහිසුණු ලෙස ඝාතනය කළ, අප්‍රතිහත ධෛර්යයෙන් අනූන, වීර සහෝදරයෙක්! රටේ දණ්ඩ නීති සංග්‍රහය අභිමුව, සාවද්‍ය මනුෂ්‍ය ඝාතන 5ක් සිදුකල බාලවයස්කාර අපරාධකරුවෙක්!

මා මෙහි ලියාදැක්වූයේ අපට පියවි ඇහැට පෙනෙන හරිය පමණකි. අප අසා දැක කියවා ඇති සුමතිපාලගේ ජීවිත කතාව, තම තම නැණ පමණින් අවබෝධ කරගෙන ඔහු පිළිබඳ අප විසින් ගොඩ නගාගත් “සුමතිපාල කියන්නෙ මේ වගේ මිනිහෙක්” යන අපගේ පුද්ගලානුබද්ධ විග්‍රහයන් වලින් කිහිපයකි. කරලියට පැමිණි නොපැමිණි, අප දන්නා නොදන්නා මෙවන් තවත් විග්‍රහයන් රැසක් ඇතුවාට කිසිදු සැකයක් නැත. මෙකී නොකී සියලු කතා අතර, මේ ලියන්නේ සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නම් මේ අසහාය පුරුෂයා ගැන මට හිතෙන හැටි ගැනය. එපමණක් නොව සමාජය සහ නීතිය යන ඒවා යුක්තිය හා සාධාරණය යන ඒවායින් කොතරම් වියුග්ම වී අබ්බගාත තත්වයට පත් වී ඇතිද යන්න පිළිබඳව මට හැඟෙන දැනෙන හැටිය. මා සුමතිපාල නම් මේ මිනිසාව අසහාය පුරුෂයෙකු ලෙස හඳුන්වන්නේ ඔහුගේ චරිතයේ මා දකින ඉතාම සුවිශේෂී ලක්ෂණ කිහිපයක් නිසාය. ඒ හැර, ඔහු විසින් සිදුකළ එකදු මනුෂ්‍ය ඝාතනයක් වත් මෙහිදී සාධාරණීකරණය නොකෙරෙන බව ඉඳුරාම කිවයුතුමය. එබැවින් මානව හිමිකම්, හොඳ නරක හා ආගම ධර්මය ආදී කාරණා අල්ලාගෙන වල්ගය පාගාගැනීමෙන් වලකින ලෙස මුලින්ම කරුණාවෙන් මතක් කරනු කැමැත්තෙමි.

සුමතිපාල මිනීමැරූ වග අපි සැවොම දනිමු. සුමතිපාල මිනී මරන තැනට පත් කරවූ සිද්ධිය ගැන සුමතිපාලගේ කටින් හඬින්ම අසන්නට උවමනා අයට මෙම සබැඳිය ඔස්සේ ගොස් විපරම් කර බලන්නැයි යෝජනා කරනු කැමැත්තෙමි. මගේ මේ ලිපියද බොහෝ දුරට පදනම් වනුයේ එම සබැඳිය කෙළවර ඇති වාර්තා වැඩසටහන මත වේ. කතාවේ හැටියට සුමතිපාල යනු මේ වනතුරුත් අරක්කු බිඳක් තොල ගා නැති, සිගරට්ටුවක් බීඩියක් බී නැති පුද්ගලයෙකි. ඔහුගේ සිරුර දිරා ගොස් ඇති තරමේ හැටියට, මේ කතා විශ්වාස කිරීමට තරමක් අපහසු යැයි යමෙකුට හැඟුනත්, දින 15ක් වහලක් මත නිරාහාරව සිටි, සියතින් උදරය කපාගෙන, සිය අතුනු බහන් සපා කා, ඒවා ගෙල වටා ඔතාගත් පුද්ගලයෙකු හැටියට, යම් හෙයකින් ඔහු අරක්කු සිගරට් වල වහලෙකු වී නම් මේ වන විට ඔහු ජීවිතය හැරගොස් ඇතුවා නොඅනුමානය. එබැවින් ඔහුගේ හඬින්ම කියු දේ තහවුරු කිරීමට ඇත්තේ ඔහුගේ වචනය පමණක් වුවත්, මම ඒවා විශ්වාස කරමි.

ඔහුගේ “පාපෝච්ඡාරණයේ” (මට හිතෙන හැටියට නම් එය කිසිදු අන්දමකින් පාපෝච්ඡාරණයක් නොවේ. එය “ස්වයං වාචික චරිතාපදානයක්” ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය යැයි මම කල්පනා කරමි.) හැටියට මෙම සිද්ධියට පාදක වන්නේ අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය ලෙස අබිසෙස් ලත් තම රූමත් නැගණියට, ඒ නිසාම අත්විඳින්නට සිදුවූ බිහිසුණු ඉරණමයි. කතාව සැකෙවින් ගත්කල, අවුරුදු කුමරිය සඳහා ත්‍යාග ප්‍රදානය කරන්නට පැමිණි මන්ත්‍රීවරයා ඇයව වැලඳගන්නට උත්සාහ කරද්දී එයට ඉඩ නොදී ඇය ඔහුට දණ ගසා වැඳ තිබේ. මේ ගැන උරණ වන මන්ත්‍රීගේ අණ පරිදී, කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින්, සුමතිපාලගේ පාසලේ විදුහල්පතිගේ අනුදැනුම සහ සහාය ඇතිව ඇයව පැහැරගෙන ගොස් තිබේ. එපමණක් නොව මේ සිද්ධිය ගැන දන්නා සුමතිපාලගේ නැගණියගේ යෙහෙළියකද සිට ඇති අතර පොලීසිය විසින් ඇයගේද කට වසා ඇත්තේ ඇයට මරණ තර්ජනය කරමිනි. පැහැරගත් ඇයගේ ගිනිතබා විනාශ කල සිරුරේ අළු අතරින් සුමතිපාල ඇදගන්නේ ඇයගේ ඉතිරි වු කරමාල පොටත්, අවට ලැහැබක තිබී හමුවන ඇයගේ පොත් බෑගයත් පමණි. ඒ වන විට, ඇයව පැහරගන්නට අණ දුන් මන්ත්‍රී, එම පැහරගැනීම මෙහෙයවූ පොලිස් ලොක්කා, එම පැහැරගැනීමට උපකාර අනුබල දෙමින් පහසුකම් සැපයූ විදුහල්පති ඇතුලු හය දෙනෙකු අතින් වරින් වර දූෂණයට ලක්වී ඇති මේ අහිංසක දැරිවිය මරණයට පෙරාතුව දෙසතියක කාලයක් තුල මුහුණ දුන් ශාරීරික හා මානසික වේදනාව සහ ඇයව පණ පිටින් පුළුස්සා දමන විට ඇය විඳි වේදනාව කෙබඳුදැයි අපි කිසිවෙක් හැබැහින් නොදනිමු. ඒ මන්ද යත් අපි කිසිවෙකුටත් එබඳු වේදනාවක් දැනී නැති නිසාය. එහෙව් අපෙන් සම”හරක්”ට අනුව සුමතිපාල මිනීමරුවෙකි. මේ කතාව කියවූ ඔබ, දැන් සුමතිපාල සිටින තැනට මනසින් පත්වන්න. දෑහේ මූණේ තබා හැදූ වැඩූ තම නැගණියට අත්වූ ඉරණම ගැන කන වැකුණු පසු, ඇගේ සිරුර පිළිස්සුණු අළු අතරින් ඇගේ ගෙල බැඳි මාලය එළියට ගන්නට ඔබට සිදුවුණු පසු ඔබ කරන්නේ කුමක්ද?

මේ ආදරණීය අයියා තෝරාගත්තේ රහස් පරීක්ෂක, විනිසුරු සහ අලුගෝසුවා යන පදවි තානාන්තර තුනම සියතට ගැනීමයි. එසේ වන තැනට සුමතිපාල පත් කලේද මේ කියන පොලිස් ලොක්කාය. පොලිස් ස්ථානයට ගොස් තම පැමිණිල්ලට සිදුවූයේ කුමක්දැයි විමසූ විට පොලිස් ලොක්කාගෙන් ඔහුට ලැබී තිබුණේ “උඹේ නංගි කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. හනිමූන් ඉවර වෙලා ආවම ළමයෙක් එක්ක බාරගන්න ලෑස්ති වෙයං” ආදී නොසරුප් අවමන් වැලක් සහ කම්මුල් පහරකි. ඒ ඇයව පැහැරගන්නට හා දූෂණය කරන්නට යෙදුනු පොලිස් ලොක්කාගේ ප්‍රතිචාරයය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්‍රියා කලාපයය. නීතිය රකින්නට, නීති කඩන්නන් අල්ලා දඬුවම් දෙන්නට රාජ්‍යයේ සේනාධිනායකයාගෙන් අධිකාරිය ලත් නිලධරයාගේ ක්‍රියා කලාපය එයනම්… එතනින් එහාට රටේ සාමකාමී සාමාන්‍ය මහජනතාවට කාගේ පිළිසරණක්ද? නීති රකින්නා, නීති කඩන්නන්ට දඬුවම් දෙන්නා අමු අමුවේ නීති කඩන විට, අහිංසක ගැහැණු දරුවෙකුගේ පිවිතුරු බව පමණක් නොව ජීවත් වීමේ අයිතියද කෙලෙසා දමන විට ඔහුට දඬුවම් දෙන්නේ කවුද?

අනෙක් අතට මේ කියන මන්ත්‍රීවරයා යනු නීති සම්පාදනය කරන්නා වේ. නීති සම්පාදනය කරන උන් නීති කඩනවිට කරන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නයට මේ දක්වා පිළිතුරු නැත. අදටත් නීති කඩන නීති සම්පාදකයන් රොත්ත පිටින් ජනමාධ්‍ය ඉදිරියේ කටමැත දොඩවන්නේ ඒ නිසාය. සුමතිපාලගේ කතාවේ හැටියට සුමතිපාල පළමුවර මන්ත්‍රීගේ ගෙදර යන්නේ මන්ත්‍රී සමග ඔහුගේ පවුලද වළලන අටියෙනි. නමුත් නිවස තුලට ගිය සැණින් ඔහු දකින්නේ මන්ත්‍රීගේ කුඩා දරුවන් දෙදෙනාය. “මහ එකාගෙ වැරදි වලට මුන් පළි නෑ” කියා සුමතිපාල ආපසු හැරෙන්නේය. ඒ සුමතිපාලගෙ මොලේ ඇති කම නිසාය. නැගණිය ගැන ඇති අසීමිත ආදරය වත්, නැගණිය බිලිගත්තවුන් ගැන ඇති අසීමිත කෝපය වත් නිසා තම සිහිය විකල් කරගත්තේ නැති නිසාය. ඔය බොහෝ ඝාතකයන් අභිමුව සුමතිපාල මට වීරයෙක් ලෙස පෙනෙන්නේ ඔවැනි කාරණා නිසාය. කණගාටුවට කරුණු වන්නේ එවන් මන්ත්‍රීලාව මැතිසබයට යවන්නේ අප අපම වීමත්, සුමතිපාලගෙන් අභය ලද එක් පුතෙක් තම පියාගේ වැරදිවලට තමාගෙන් පලි නොගන්නට තරම් හිත ශක්තිමත් වූ, සිය පියාගෙන් අසීමිතව පීඩාවට, අසාධාරණයට ලක්වූ මේ සාධාරණ මිනිසාගෙන් නැවත නැවත පලිගන්නට උත්සාහ දැරීමත්ය. එය මේ සමාජ ක්‍රමය කෙතරම් අබ්බගාත වූවක් දැයි මොනවට කියාපායි.

මේ සියල්ලටම වඩා ජුගුප්සාජනක වන්නේ විදුහල්පති ධූරයක් හිමිවූ ඒ කාලකණ්නි අධමයාගේ ක්‍රියා කලාපයය. දරුවන් ගුරුන්ට සලකන්නේ අම්මා තාත්තාට සලකනවා හා සමානවය. තමුන් ඉදිරියේ වැඳවැටී සිය අනාගතය පහදාදෙන ලෙස ඉල්ලා තමා අසලට පැමිණි අහිංසක දරුවෙකුට එතරම් අමානුෂික ලෙස හදි කරන්නට මේ ගුරුවරයා ගුරුමරුවෙක් විය. නීති හදන මන්ත්‍රීලාත්, නීති රකින පොලිස් මහත්වරුත්, හරිමග කියාදෙන්නේ යැයි කියන ගුරුවරුනුත් හැසිරෙන්නේ මේ ආකාරයට නම්, සති දෙකක් පුරා වරින් වර කුසුමාවතීව සමූහ දූෂණය කරන්නට කාමරයක් දුන් සහ දූෂණයට හවුල් වූ තානායම් කාරයා ගැනත්, දූෂණයට හවුල් වූ මස්කඩ කාරයා ගැනත් කියන්නට දෙයක් නැත. වැටත් නියරත් ගොයම් කන්නේ නම් ඒ අවනඩුව කියන්නට කෙනෙක් නැතිබව පැහැදිලි වන්නට මීට වඩා අටුවා ටීකා ටිප්පණී අවශ්‍ය නැත. මේ හැත්තෑව දශකයේ සමාජය වුවත්, වත්මන් සමාජයේ තත්වයත් මෙයට දෙවෙනි නොවේ. එවන් කැඩුණු බිඳුණු ඔත්පල සමාජ ක්‍රමයක් තුල තම පැවැත්ම හා සාධාරණය වෙනුවෙන්, නීතිය තමා අතට ගැනීම හැර ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග මොනවාදැයි මට අවංකවම නොවැටහේ. යුක්තිය පසිඳලන්නට ඇති නීතිය යුක්තියට වඩා කෙතරම් පසුපසින් සිටින්නේදැයි මේ සිද්ධි දාමය මොනවට සාක්ෂි දරයි.

මීලඟට ඇති අනෙක් සැලකිය යුතු කාරණාව නම් නාගොඩ පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියා කලාපයය. සුමතිපාලගේ කතාවට අනුව, නැගණියගේ තෙමස් පූර්ණ දානමය පින්කමෙන් අනතුරුව සුමතිපාල සිය දඩයම ආරම්භ කරයි. එහි පළමු ගොදුර වන මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ ගෙල සිඳදැමීමෙන් අනතුරුව කපා වෙන් කළ හිසද රැගෙන ඔහු නාගොඩ පොලිස් අධිකාරී නිල නිවසට යයි. ඒ අවස්ථාවේදී පොලිස් අධිකාරීවරයාගේ ප්‍රතිචාරය වන්නේ “කොල්ලො, මම දැනගෙන හිටියා ඕක වෙයි කියලා. දැන් ඕක මෙහෙන් තියලා වාඩි වෙයන්කො. අපි තේ ටිකක් බීල ඉමු” යනාදී වශයෙනි. ප්‍රශ්නය ඇත්තේ මේ “මම දැනගෙන හිටියා ඕක වෙයි කියලා” යන ප්‍රකාශය ය. මෙයට අනුව, මේ පොලිස් අධිකාරීවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩකටයුතු ගැන ඉතා හොඳින් දැනසිටි බව පැහැදිලි වේ. එය දැනගෙනත්, ඒ ගැන ක්‍රියාත්මක වන්නට ඔහු අපොහොසත්වීම, මා දකිනුයේ ඉතාම බරපතල තත්වයක් ලෙසටය. මන්දයත් නීති රකින්නන් නීති කැඩීමත්, නීති රකින්නන්ගේ රැකවරණය යටතේ එය සිදුවීමත් යන දෙකම, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් යයි කියා ගන්නා නීතියේ කාර්යභාරය බරපතල ලෙස අභියෝගයට ලක් කරවන බැවිනි. සුමතිපාලට තේ එකක් හදාදෙන්නට උණු වූ සිත, පාපතර කාමාතුරයින් රැලකගේ ග්‍රහණයේ අකාලයේ මිලිනව ගිය කුසුමාවතී වෙනුවෙන් උණු නොවූයේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. සමහරවිට මේ පොලිස් අධිකරිවරයා, සුමතිපාලව නීතිය ඉදිරියට පමුණුවන්නට ඉක්මන් වූ තරම් ඉක්මනින් අර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව නීතිය ඉදිරියට පැමිණවූවානම් සුමතිපාලට අලුගෝසු චරිතය රඟදක්වන්නට සිදුනොවනු ඇත.

තවදුරටත් මේ කාරණා ගැන හාරා අවුස්සන විට, අපට පෙනෙන යමක් වන්නේ සුමතිපාල නීතිය හමුවේ චූදිතයෙක් වූයේ කෙතරම් ඉක්මනින්ද යන්නය. සිය පළමු මනුෂ්‍ය ඝාතනය සිදු කරනවිට ඔහු නීතිය හමුවේ බාලවයස්කරුවෙකි. එනමුත්, නඩු අසා තීන්දුව වසරක් වැනි ඉතාම කෙටි කලක් තුල ලැබේ. ඒ මරණ දඬුවමය. ඒ මරණ දඬුවම දෙන්නේද, අපරාධය සිදුකරන විට ඔහු බාලවයස්කරුවෙකු වුවත් දඬුවම් නියමවන කාලය වනවිට ඔහු වයස අවුරුදු දහ අට සපුරා වැඩිහිටියෙකු වී තිබීම යන කාරණාව මත පදනම්ව වීමද විශේෂත්වයකි. පොඩි මිනිහාට දඬුවම් දෙන්නට අධි වේගයෙන් ක්‍රියාකරන නෛතික යාන්ත්‍රණය, ලොක්කන් හා කෙරුමන් යැයි සමාජයේ සම්මත, පාදඩයන් ඉදිරියේ සිය වල්ගය දෙපරැන්ද අස්සේ රුවාගන්නේ ඇයිදැයි සාමාන්‍ය මහජනතාව වන අපට ඇති එකම පැනයයි. එයටද පිළිතුරු නැත.

අනෙක් අතට, සුමතිපාලගේ පවුල සමාජය ඉදිරියේ වැදගත් පවුලකි. මව හෙදියක්ද, පියා වරායේ රැකියාවේද නියුතුව සිටි මේ පුංචි පවුලේ වැඩිමලා වූ සුමතිපාල මේ අපරාධයට ලක්ව අපරාධකරුවෙකු වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි. ඔහුගේත් නැගණියගේත් අහිංසක හීනයන් වී තිබුණේ සිය මවගේත් පියාගේත් රැකියාවන් වලට අනුයුක්තව සේවය කිරීමය. එවන් සමාජයට වැඩදායක ලෙස සිය දිවි ගෙවූ අහිංසක පවුලක ඉරණම තීන්දු කරන්නට යෙදුනේ නීති රකින්නන් හා නීති සම්පාදනය කරන්නන් වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි. මක් නිසාද යත්, එවන් බිහිසුණු සමාජ ක්‍රමයක් තුල ජීවත් වන්නට අප සියලු දෙනාටම සිදුවී ඇති බැවිනි.

මේ සියලු කාරණා ඉදිරියේ, උසස් බලපුළුවන්කාර යැයි සම්මත සමාජයේ අසාධාරණයට එදිරිව, සාධාරණය වෙනුවෙන් මුළු සමාජයටම එදිරිව සටන් වදින්නට සුමතිපාල නම් මේ තනි කොලු ගැටයා ඉදිරිපත් විය. එපමණක් නොව තම අරමුණ 100%ක්ම සාක්ෂාත් කරගන්නටද හේ සමත් විය. එයට හත්වරක් සිපිරිගෙයින් පැනයන්නට ඔහුට සිදුවිය. ඒ සඳහා සිය ශක්තිය හා බුද්ධිය යෙදවූ අන්දම විශ්මයජනක වේ. මදක් කල්පනා කර බලන්න. උසස් පෙළ ලියූ මේ කොලු ගැටයා මේ සා හපන්කමක් කරන්නේ හේ මෝඩයෙකු නිසා නොවේ. “හිරෙන් පනින එකෙයි මිනීමරන එකෙයි තියෙන හැකියාව මොකක්ද?” යනුවෙන් පැනයක් කාගේ හෝ සිතට නැගෙන්නට පුළුවන. නමුත් මාගේ වැටහීමට අනුව ස්ථානෝචිත බුද්ධිය යනු කලාතුරකින් දක්නට ලැබෙන කුසලතාවයකි. මේ ඉලන්දාරියාට හරි හමන් මග පෙන්වීමක් ලැබුණේ නම්, අඩුම වශයෙන් ඔහුට මේ අසාධාරණය සිදු නොවූයේ නම් හේ සමාජයට වැඩදායක පුරවැසියෙකු වෙනවා නොඅනුමානය. හිරේ විලංගුවේ වැටී නානාප්‍රකාර අපරාධකරුවන් හා සමාජ විරෝධීන් අනේක තරමක් ඇසුරු කළත්, කිසිදු අන්දමක සමාජ විරෝධී කටයුත්තකට සම්මාදම් වී නැති මේ මිනිසා ඔබ මම ඇතුළු අප බොහෝ දෙනෙකුට වඩා යථාර්ථය අවබෝධකරගෙන ඇති බව පිළිගත යුතුය. සුමතිපාල අසහාය මිනිසෙකු ලෙස මා දකින්නේ එබැවිනි.

එපමණක් නොව, තමා කුඩු ආදී සමාජ ව්‍යසනයන්ට මුළුමනින්ම විරුද්ධ බව ප්‍රසිද්ධියේ කියන හෙතෙම, හැකි සෑම අවස්ථාවකදීම ඒවාට එරෙහි ක්‍රියාදාමයන්ට සිය කොන්දේසි විරහිත සහාය ලබාදී ඇත. පොට්ට නවුෆර් වැන්නවුන් සුමතිපාලගේ පරම හතුරන් වන්නේ එබැවිනි. සුමතිපාල විසින් සිරගෙය තුලදී සිදුකල ඝාතනයේදීත් මැරුම් කන්නේ නොම්මර එකේ කුඩුකාරයෙකි. නිදැල්ලේ සිටි මේ කුඩ්ඩා සිරගෙය තුලට එන්නේද සුමතිපාල ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙනි. මේ රටේ නීතිය යනු, තක්කඩියන්ගේ ඕනෑ එපාකම් අනුව සිරගෙය තුලට යාම් ඊම් සිදුකල හැකි තරමේ සිදුරු සහිත ඔත්පල ලියවිලි තොගයක් පමණි. “කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්” යනුවෙන් පබැඳුනේ ඉතාම හොඳ හේතු රාශියක් නිසා බව මේ සිද්ධීන් සියල්ලම මොනවට කියාපායි.

සුමතිපාල යනු වින්දිතයෙකි. සමාජයේ සහ නීතියේ අසාධාරණයෙන් සාහසික ලෙස බැට කෑ, හොඳ පුරවැසියෙකි. උසස් යැයි සම්මත සමාජයේ කුපාඩිකම් සහ පාදඩකම් නිසා “අංගුලිමාල” කෙනෙක් බවට පත්ව බුදුවරයෙක් නොමැතිවම, තම නැණ පමණින් සමාජය පිළිබඳව යථාවබෝධය ලබා, නැවතත් හරි මගට පිළිපන් “අහිංසක” කෙනෙකි. මට හිතෙන හැටියට “වැරදි පාරක් ඔස්සේ නිවැරදි ගමනාන්තයට එළඹුණු” පුරවැසියෙකි. ඉතාම සෙනෙහෙවන්ත සහෝදරයෙකි. සමාජයෙන් ඉතාම හොඳින් පාඩම් ඉගෙනගත් බුද්ධිමතෙකි. “PhD කරන්න ඕනෙ. ඒක නිසා මට සමාව දීලා මාව නිදහස් කරන්න” කියා සමාජය ඉදිරියේ වැඳ නොවැටී “එක්කෝ එල්ලාපන්, නැත්තම් නිදහස් කරපන්” යනුවෙන් සටන් වැදුනු නිර්භීත සටන්කාමියෙකි. වත්මන් සමාජයේ බොහෝ දෙනාට, පොත් දහසකින්වත් උගත නොහෙන පාඩම් රාශියක් සුමතිපාල සිය වාචික ස්වයං චරිතාපදානය ඔස්සේ කියාදෙයි. ඒ පාඩම් හරිහැටි කියවාගන්නට අපේ ඇස් කන් සූදානම්ද? ඒවා හරිහැටි අවබෝධ කරගන්නට අපේ බුද්ධිය සූදානම්ද? ඒ පාඩම් සමාජයේ ස්ථාපනය කරන්නට අපේ හදවත් නිර්භීතද? සිතා බලන්න. පිළිතුරු කොමෙන්ටුවක කොටා තබන්නට කාරුණික වන්න.

අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා…

බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා…

(පබැඳුම: බී.ඩී. සුමතිපාල විසින් යැයි කියවේ.)