(2019 ඔක්තෝබර් මස 20 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ රටවැසියාගේ අඩවියේ පලවූ “සුදුසුම ජනාධිපති අපේක්ෂකයා හඳුනා ගනිමු” ශීර්ෂය දරණ ලිපියට පිළිතුරකි.)

පරණ තැනින්ම පටන් ගතහොත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා මේ වන විට වසර 72ක් වන්නට ආසන්නය. රටක් හැටියට 1948දී අප සිටි තැනත්, 2019 අවසානය වන විට අප සිටින තැනත් ගැන සාමාන්‍ය කියවීමක් අප සෑම දෙනෙකුටම ඇති බව මේ දක්වා මම විශ්වාස කළෙමි. නමුත්, උක්ත දාතම සහ ශීර්ෂය දරණ ලිපිය මාගේ එම විශ්වාසය බොහෝසෙයින් පළුදු කර දැමීමට සමත් විය. එමනිසා, රටක් හැටියට 1948දී අප සිටි තැනත්, 2019 අවසානය වන විට අප සිටින තැනත් ගැන මාගේ කියවීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමකින් මෙම ලිපිය ආරම්භ කිරීමට කල්පනා කළෙමි. 1950 දශකය වන විට ආසියාතික රටවල් අතුරෙන් වඩාත්ම සංවර්ධිත රට වූයේ, ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 90ක් වූ ජපානයයි. එහි දෙවැනි තැනෙහි පසුවූ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් 89ක ඒක පුද්ගල ආදායමකට හිමිකම් කිවු රටක් විය. සිංගප්පූරුව, නොහොත් එවකට ආසියාවේ දුප්පත්ම රට, අමෙරිකානු ඩොලර් 15.5ක ඒක පුද්ගල ආදායමක් ලැබූ රටක් විය. මේ කියන්නේ අමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 10.75ක් වටිනා කාලයේය. එය ඉතා තදින් මෙය කියවන ඔබගේ සිහියේ ධාරණය කර ගත යුතුය. එපමණක් නොව, එංගලන්ත අයවැය හිඟය පියවීමට ලාංකික විදේශ විනිමය සංචිත වලින් ණයට ගත්තේද මේ කාලයේය. මා මේ උපුටා දක්වන්නේ ධනාත්මක චින්තනය, නායකත්ව හා සංස්ථානික පුහුණුව පිළිබඳ විශේෂඥ චන්දන ගුණවර්ධන මහතාගේ අදහස්ය. ඒ මහතා ව්‍යාපාරික මහතුන් පිරිසක් අභිමුව සිදුකල එම අදහස් ඇතුලත් සම්පූර්ණ කථාව යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නැරඹීමටත්, ඒ හරහා මෙම කාරණා වල සත්‍යාසත්‍යතාව සනාථ කරගැනීමේ අවකාශයත් සියළු දෙනාටම ඇත. අද, නොහොත් 2019 වන විට මේ රටවල් තුන සිටින්නෙ කුමන තැන්වලදැයි අපි සියළු දෙනාම හොඳින්ම දනිමු.

තත්වය මෙසේ තිබියදී, “අපගේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳවැටී බටහිරකරණයට නැඹුරු වූ දා පටන් අපේ සංවර්ධනය යැයි සලකන බොහෝ අංශ වලින් ඉදිරියට ගොස් ඇති“යැයි කියා කීම මට හිතෙන හැටියට නම් “ලෙඩා මළත් බඩ සුද්දයි” යැයි කීමක් පමණි. අප ඉදිරියට ගොස් ඇති බව නොරහසකි. ප්‍රශ්නය ඇත්තේ එම ඉදිරියට යාම ප්‍රමාණවත්ද යන්නය. දශක හතක් තුල ඌණ සංවර්ධිත රටක් වූ සිංගප්පූරුව පවනට බඳු වේගයෙන් අපව පසුකරගෙන ගොස් සංවර්ධනයේ ඉලක්ක ලඟා කරගනිද්දී, අප සංවර්ධිත මට්ටමේ සිට සංවර්ධනය වෙමින් පවතින රටක මට්ටමට පහත වැටී ඇත. ආදායම් ගෙනෙන නිෂ්පාදන ඉතාම සීමාසහිත තත්වයට වැටී ඇත. අපේ සමාජයේ මූලික ඒකකය වන “පවුල” නම් ඒකකයේ කොඳු නාරටිය වූ “අම්මා” ව මැද පෙරදිග මරු කතරේ, වහල්කම් කරන්නට යවන්නට තරම් සමාජය බිඳවැටී ඇත. විශ්‍රාමික විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට අනුව, ලිඛිත අලිඛිත මුළු ණය බර රුපියල් ට්‍රිලියන එකොලහකට අධිකය. ඒ ණය මුදල්වල ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ, ණය වාරික වලට අලගු තැබීමටවත් ප්‍රමාණවත් නැත. තත්වය එසේ තිබියදී “අපි දියුණු වෙලා..” යැයි කල්පනා කිරීම හුදෙක් හිතළුවක් පමණි.

1978 ව්‍යවස්ථාව රටේ තීරණාත්මක සංධිස්ථානයකි. එම සංධිස්ථානයේදී අප හැරුණේ වැරදි දිශාවටය. විවෘත ආර්ථික ක්‍රමය ගැන මට කිසිදු විවේචනයක් නැත. නමුත් අප එය ක්‍රියාත්මක කල ආකාරය ගැන මට බරපතල විවේචන ඇත. “දොරවල් සියල්ල හැරදමන්න. නමුත් ඇතුලත ඇති දේ ගසාගෙන නොයන්නට වගබලාගන්න” යැයි ගාන්ධි තුමා කියද්දී, අප දොරවල් හැර දැමූ අයුරු කොතරම්ද යත්, ගසාගෙන ගියේ මොනවාදැයි කියන්නට අපි මේ වනතුරුත් නොදන්නෙමු. අප “ඉතා වේගයෙන් ගෝලීයකරණයට බද්ධ වීමේ” ප්‍රතිඵලය එයයි. “1977 සිටම අපි අවතීර්ණ වූ ගමන් මග” අපව ගෙන ගියේ ආර්ථික සමාජයීය වලපල්ලටය. ඒ ගැන කිසිවෙකුට “නෑ එහෙම නෙවෙයි” යැයි විවෘතව කතා කල නොහැක.

මේ අනවරත විනාශය රටට සිදු කලේ වෙන කිසිවෙකු නොව යැංකි ඩිංකි බල කඳවුරත්, කුරහන් සාටක බල කඳවුරත් යන දෙකමය. කවර හෙයින්ද යත්, පසුගිය වසර 72ක් පුරා තට්ටු මාරු ක්‍රමයට රාෂ්ට්‍ර පාලනය ගෙන ගියේ ඔය දෙකට්ටුව ය. ජාතික දැක්මක් වෙනුවට අන්තිම ආත්මාර්ථකාමී පුද්ගලික දැක්මක් පමණක් ඇති, අබුද්ධික, අඳබාල, මමත්වයෙන් අන්ධ වූ අමනයන් රැලකට (මෙම චෝදනාව සියලු ඡන්දදායකයන්ට අදාල නොවේ. තොප්පිය හරියන ඇත්තෝ දාගනිත්වා!) සර්වජන ඡන්ද බලය ලබාදී, එයට “ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙන් නමක් පටබැඳ, ඒ හරහා වසර හයකට වරක් පිනට අරක්කු, බත් පැකට්, සිල් රෙදි, මෝටර් සයිකල් බෙදාදෙමින්, මැරකම් ජඩකම් තක්කඩිකම් පාහරකම් හරහා බලය තහවුරු කරගෙන රට කාබාසිනියා කලේ මෙම දෙකට්ටුව ය. සර්වජන ඡන්ද බලය, ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලන රාමුවක ඇති ඉතාම ප්‍රබල ආයුධයක් බව සැබෑවකි. දැලි පිහියත් ප්‍රබල ආයුධයකි. එබැවින් එය වඳුරෙකුට හසුවූ කල ප්‍රතිඵලය භයානක විය හැක. සර්වජන ඡන්ද බලයත් එවැනිම ආයුධයක් බව තේරුම් ගෙන එය වඳුරන් අතට පත්වීම වැලක්විය යුතුය. නමුත් දැන් එයට ප්‍රමාද වැඩිය. බුද්ධිමතුන්ට අමතරව උගත් නූගත් මෝඩයන් රෑනක්ද ඡන්දය දමන බවත්, එම මෝඩයන්ව ගොනාට ඇන්දවීම ඉතාම පහසු බවත් මේ දේශපාලනික තක්කඩියන් තේරුම් ගෙන ඇත.

නැවත වතාවක් සිංගප්පූරුව දෙසට හැරෙමු. සිංගප්පූරුවේ මෙම ආශ්චර්යය කුමක ප්‍රත්ඵලයක්දැයි විමසා බැලූ කල මට හමුවූයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යූ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කිශෝර් මබුබානි මහතා විසින් පළ කරන්නට යෙදුනු අන්තර්ජාල ලිපියක් සහ යූටියුබ් හි පළ කර ඇති වීඩියෝපටයකි. ඔහුගේ ජීවිත කතාවට අනුව සිංගප්පූරුව ඌණ සංවර්ධිත රටක සිට සංවර්ධිත රටක් දක්වා වසර 70ක් තුල ගිය ගමන් මග ඔහු පැහැදිලි ලෙසම දැක ඇත. ඔහු කුඩා කල පාසලට ගිය මුල්ම දවසේ ඔහුගේ බර කිරාබැලීමෙන් අනතුරුව, පාසලේ විදුහල්පති තුමා ඔහුට නියම කර ඇත්තේ පාසලේ ඇති කිරි බැරලයකින් කෝප්පයක් පිරෙන්නට කිරි ගෙන බොන ලෙසයි. එතැනින් පටන් ගත් හෙතෙම අද කීර්තිධර රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ගත් කතුවරයෙක්, ගුරුවරයෙක් මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ විශේෂඥයෙක් ද වෙයි. ඔහුට අනුව සිංගප්පුරුවේ රහස ලී ක්වාන් යූ මහතාගේ අභීත නායකත්වයෙන් සන්නද්ධ වූ ත්‍රිවිධ සැලැස්මකි. එය නම් වශයෙන්,

  • Meritocracy නොහොත් කුසලතාවය මත පමණක්ම පදනම් වී තනතුරු ලබා දීම
  • Pragmatism නොහොත් ප්‍රායෝගිකත්වය මත පමණක් උපාය මාර්ග සඳහා සිද්ධාන්ත තෝරා ගැනීම (ප්‍රායෝගිකවාදය)
  • Honesty නොහොත් අවංකභාවය

ලෙස ලැයිස්තුගත කල හැක. අපට නැති එහෙත් සිංගප්පූරුවට ඇති දෑ එපමණකි. ඒ හැර අපට ඇති ස්වභාවික සම්පත්, දේශගුණය, සාරවත් පස, දැනුම හා කුසලතා වැනි බොහෝ දේ සිංගප්පූරුවට නැත. දැන් ඉහත ත්‍රිත්වයෙන් කීයක් මේ දෙදෙනාට හෝ අනෙකුත් අපේක්ෂකයන්ට තිබේද යන්න සළකා බැලීම පාඨක ඔබට භාර කරමි. අපට වරදින්නට හේතුව, මෙකී සළකා බැලීම නිවැරදි ලෙස කිරීමට ඔබත් මමත් ඡන්දදායකයන් ලෙස අපොහොසත් වීමය.

සිංගප්පූරුවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ලී ෂැන්ග් ලූන්ග් මහතා, එම ධූරයට පත් වූයේ, “ලී ක්වාන් යූ ගේ පුතා” යන නිර්ණායකය මත නොවේ. ලී ෂැන්ග් ලූන්ග් කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. හෙතෙම ගණිතය පිළිබඳ උපාධිධරයෙකු මෙන්ම සිංගප්පූරු රාජ්‍ය හමුදාවේ බ්‍රිගේඩියර් ජෙනරල් වරයෙක්ද වේ. අපේ ඈයන්ගේ පුතාලා ගැන කතා කරන්නට පටන් ගත්විට මහා අපුලක් දැනෙන බව අපි නිතර අසා ඇත්තෙමු.

කැලය මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැත. “ඔවුන් තවම ප්‍රතිපත්ති ප්‍රකාශන සිදුකර නොමැති” වූවාට, තොප්පිය දැමීමට පමණක් සීමා නොවී අවශ්‍ය තැන්හිදී තත්වය තේරුම් ගැනීම සඳහාද, ඔළුව නම් මිනිස් ශරීරයෙහි ඇති වැදගත්ම ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේ නම් මේ දෙකට්ටුව ගේ ප්‍රතිපත්ති ගැන සිතාගැනීමට අපහසු නැත. යුද්ධය අහවර කල ජනාධිපතිට පමණක් නොව ඉන් පෙර රට කල සියලු විධායක ජනාධිපතිවරුන්ට ජන වරම් දුන්නේ යුද්ධය ඉවර කරන්නට මිස යුද්ධය අතගාන්නට නොවේ. වෙනෙකක් තබා, පරයින් පන්නන්නට අත්වැල් බැඳගත් ජාතීන් දෙකක් කුළල් කාගන්නා තැනකට තල්ලු කලේද ඔය කියන ජනාධිපතිලාගේ ගොන් කම් ය. යුද්ධය ඉවර කිරීම ජනාධිපතිගේ රාජකාරිය විය. ඒ රාජකාරිය අභිමුව ජනාධිපතිත් රාජ්‍ය සේවකයෙක් මිස මහරජාණන් කෙනෙක් නොවේ. රාජකාරිය ඉටු කල පසු එයට හිලව් වෙන්නට රට කාබාසිනියා කරදැමීමවත්, “මමයි යුද්දෙ කලේ” යැයි පම්පෝරි ගසමින් යුද්ධය වෙනුවෙන් වෙඩි කෑ, එම වෙඩි උණ්ඩ ලයෙහි දරාගෙන ජීවත් වෙන වීරයන්ව මහපාරේ ඇදගෙන ගොස් දඟගෙයි ලෑමවත් සදාචාර සම්පන්න සාධාරණ සමාජයකට ගැලපෙන දෑ නොවේ. පසුකාලීනව, අප දේවත්වයෙන් ඇදහූ එවන් වීරයන්ද, ප්‍රසිද්ධ වේදිකාවේ අන්‍යන්ට “කලවැද්දා” යැයි පරිභව කරමින් හැසිරෙන්නට පටන් ගැනීම ජාතියේ අවාසනාවකි.

එමෙන්ම බොහෝ දියුණු යැයි සම්ම්ත රටවල ඉතාම මිල අධික සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදිය සියළු දෙනාට නොමිලේ ලබාදෙන රටකට, තම “සදාදරණීය පියාගේ වැඩපිළිවෙල” ඉදිරියට ගෙන යමින් පිනට ගෙවල් දොරවල් හදාදෙන්නට යාම කිසිසේත්ම ඔරොත්තු නොදෙන්නක් බවත්, පුළුල් රැකියා වෙළඳපොලක් නොමැති රටක සියළු උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන්නට යාම, ඔරොත්තු නොදෙන්නක් මෙන්ම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවත් කිවයුතුමය. හොඳම විහිළුව වන්නේ, මීට අදාල ප්‍රවෘත්ති විකාශයේ, එම අපේක්ෂකයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඊළඟට විකාශය වූ ප්‍රවෘත්තියයි. වත්මන් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රකාශයක් වූ එයට අනුව, කවුරු ජනාධිපති වුවත් ඉදිරි වසර තුන තුල රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 බැගින් ණය ලබාගත යුතුය. මේ පිනට දෙන්නට කතා කරන්නේ එහෙව් රටකය. ඔය කියන හැටියට පිනට දෙන්නට, සදාදරණීය පියාගෙන් උරුම වූ හතර මහා නිධාන දහපහලොස්දාහක් ඇතිවා වියයුතුය. සෑම වසරකම, පෙර වසරට වඩා වැඩිපිරිසක් සමෘද්ධි ලාභීන් බවට පත් වෙමින් සිටින රටක්, දිනපතා හයර් දුවන්නට අළුතෙන් ත්‍රිරෝද රථ මහපාරට වැටෙන රටක් දියුණු රටක් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.

අපි හොඳ හැටියට නාගෙන ඇත්තෙමු. අවුරුදු 72ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට රට කාබාසිනියා කරන්නට යැංකි ඩිංකි නඩයටත් කුරහන් සාටක නඩයටත් තට්ටු මාරු ක්‍රමයට ඡන්දය දුන්නේ අමෙරිකාවෙන් නොව අපමය. 2015 ජනවාරි 08 වෙනිදා එය තට්ටු මාරුවෙන් හයිබ්‍රිඩ් ක්‍රමයකව මාරු වී හවුලේ රට කන්නට පටන් ගත්තේය. දැන්වත් දේශපාලුවන් වෙනුවට අප දිනිය යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය වනුයේ කෘෂිකාර්මික සහ කාර්මික (මෘදු හා දෘඩ) යන අර්ථ ක්‍රම දෙකම සම සමව සමබරව යොදාගැනෙන ව්‍යවසාය මත පදනම් වූ අර්ථ ක්‍රමයකි. එම සංකීර්ණ, දීර්ඝ කාලීන වැඩ පිළිවෙල සකස් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැක්ම, ආකල්ප, අභීත බව, නම්‍යශීලීත්වය, උපාය මාර්ගික ඥානය, සමාජ සහකම්පනය වෙත ඇති සංවේදීතාව යන සියල්ලෙන්ම හෙබි නායකත්වයක් අපට අවශ්‍යව තිබේ. මට පෙනෙන හැටියට මේ දෙදෙනාටම මේවායින් යම් යම් ගුණාංග ඇතත්, ඔවුන් දෙදෙනාගේ න්‍යාය පත්‍රයන් අනිවාර්යයෙන්ම සිය තක්කඩි සහචරයන්ගේ ඕනෑ එපා කම් මත පමණක්ම පදනම් වන බව ඉතාම පැහැදිලිය. එම නිසා එතැනින්ම මේ දෙදෙනාම කැපී යා යුතුය. තුන්වන බලවේගය ලෙස සැලකෙන අපේක්ෂකයාටත්, බරසාර වචන වලින් පරිපූර්ණ කථා ඉදිරිපත් කරනවා වෙනුවට, බුද්ධිමත් ඡන්දදායක සමාජය හමුවේ දක්වන්නට බොහෝ ශිල්ප ඇත. එසේ ශිල්ප දක්වා තම සුදුසුකම් තහවුරු කරන්නට බැරිනම්, එකී තුන්වන අපේක්ෂකයාත් නියත වශයෙන්ම කැපී යා යුතුය. සරල වශයෙන් ගත් කල, ඉහත සඳහන් ත්‍රිවිධ නිර්ණායකයන් හා කුඩා හෝ නොගැලපීමක් ඇති සියළු අපේක්ෂකයන් කපා දැමීම, අපට ඇති එකම විසඳුමයි. එය කල හැක්කේද අපට පමණයි.