තුන්වන සෙමෙස්ටරයේ විබහගේත් ඉතින් අදින් අහවර වුණා. හයමාසයක් තිස්සේ දත කාගෙන Javascript, php, managerial roles, double entry accounting, usecase diagrams, class diagrams සහ calculus එක්ක අල්ලපු අඩව්ව ඉවර වුණා. ඉතින් විබහගේ අහවර වුන සතුටටත් එක්කල පොඩි ආතල් එකක් දාන්න කියල කැලෑසියේ කොල්ලෝ කෙල්ලෝ ගැන් එකත් එක්කල ඩයින් මෝ බැහැලා, සබ්මැරින් දෙකකටයි පෙප්සි වීදුරු එකහමාරකටයි වග කියල එහෙම, ගෙදර ඇවිත් මගේ අඹු සිඟිත්ත (ඒ කිව්වේ දුකට සැපට මගේ ලඟින් ඉන්න මගේ ලැට්ටොෆ් එක) ඉස්සරහින් ඈඳි ගත්තේ, කාලයක් තිස්සේ හිතේ තිබිච්ච දෙයක් කොටලා දාන්න හිතාගෙන…

මේ කතාව මේ විදිහට කියන එක නම් හරිද කියන්න මම දන්නේ නැහැ. ඒත් එක්කම මේක කියවන අයට මොන මොනවා හිතෙයිද කියන්න මම දන්නෙත් නැහැ. හැබැයි කෙලින්ම කියන්න, එහෙම මොනවා හිතුනත් මට ඇති වැඩකුත් නෑ. මොකද කියනවානම් මම මේ කතාව කියන්නේ මේක කියවන සියලු සත්වයාගේ හිත සුව පිණිස. අපිත් එක්ක විභාගේ කරපු ගෑණු ළමයෙක් ඉන්නවා. මේ කතාවේ කතානායිකාව තමයි එයා. ඉතින් ඊයේ දවසේ උදේ වරුවේ තිබුණ පේපර් එක ඉවර වෙලා, මගේ යාළුවො හිටපු හෝල් එක පැත්තේ යනකොට, උන්ටික වටවෙලා ඉන්නවා. බැලින්නම් මෙන්න මේ කියන ගෑණු ළමය අරුන් ටික මැද්දට වෙලා හොඳටෝම අඬනවා. මේක දැක්ක පාර මටත් නිකං කොයිල් වගේ වුණා. ඇයි හත්ඉලව්වේ මෙහෙමත් අඬනවද… මමත් ඉතින් නිකං මෝඩ පහේ විහිළුවක් සප්ලයි කරලා ෂේප් එකේ එතනින් මාරු වුණා.කොහොමහරි ඊළඟ පේපර් එක ඉවර කරලා හවස් වරුවේ ගෙදර යද්දී මගේ යාළුවෙක්ගෙන් මම නිකමට සීන් එක ගැන අහල බැලුව. බැලින්නම් වෙලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයාගේ තිබිච්ච ආදර සම්බන්ධකමක් (ඒ කිව්වේ [ඉ]ලව් එෆෙයා එකක්) හබක් වෙලා. එක තමා මේ මනුස්සය අර මොකාද වගේ අඬලා තියෙන්නේ. ඉතින් ඕක අහගෙන ඉඳල ටිකක් වෙලා කල්පනා කරද්දී තමා “මෙන්න මෙහෙම කතාවක් මම ලියන්න හිතන් හිටිය නේද” කියල මගේ මීටරේ හෙඩිමට සමපාත වුණේ…

මෙම කතාව මේ අයුරින් යතුරු ලියනය කරන මමද වරක් ආදරය කලෙමි. ඒ අර ජීවිතයටම වරක් පමණක් කල හැකි තාලයේ ආදරයකි. අදින් වසර දෙකහමාරකට පෙරාතුව ඇය මගේ ජීවිතයෙන් සදහටම නික්ම ගියාය. ඒ සඳහා විවිධාකාරයේ හේතු කාරණා ඇය විසින් ලබා දෙන්නට යෙදුනද, ඒ එකක්වත් මට පිළිගත හැකි නොවුණි. ඒ ඒවා සියල්ලම මගේ ප්‍රාථමික බුද්ධියට වටහා ගත හැකි මට්ටමට වඩා බොහෝ ඉහලින් තිබුණු නිසාය. කොයි හැටි වෙතත් අද ඇය මට වඩා බොහෝසෙයින් කඩවසම් කොලු ගැටයෙකු හා හාද වී සිටින්නීය. ඇයට එසේ බොහෝ පහසුවෙන් මා අමතක කළ හැකි වුවද මට එය එසේ නොවීය. ඒ පිළිබඳව මම ඇයට කිසි දිනෙක දොස් නොකියමි. ඇය එදා ඒ ගත්තේ ඇගේ ජීවිතය පිළිබඳ ඇයට ගත හැකි තීරණයකි. එම තීරණයෙහි හරි වැරදි බව සෙවීම කෙසේවුවද ඇය කළ දෙය කිසිදු ලෙසකින් අසාධාරණ නොවේ. නමුත් මා සිතතුළ ඇය කෙරේ බැඳී ආලය අදටත් එසේමය. එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් මම ඇයට ආදරය කරමි. තව අදටත් මගේ හිත තුල දැල්වෙන මතක ගිනිසිළ, එදා මෙන්ම දීප්තිමත්ව දැල්වෙන්නේය. මුලදී මෙම ගිනිසිළ බොහෝසෙයින් වේදනාකාරී විය. නමුදු කාලයාගේ ඇවෑමෙන් එම වේදනාවට හුරු වීමට මට හැකිවිය. එමෙන්ම එහි වේදනාව ගැන ලෝකයාට හඬගා කියනු වෙනුවට, නිහඬව එහි ඇති දීප්තියෙහි සුන්දරත්වය විඳින අයුරු දැන ඉගෙන ගන්නටද මට හැකිවිය. එවකට මා ගත කල ජීවිතය ගැන දැන් යළි සිතා බලන කළ, එම වේදනාකාරී හැඟුමට මා මුහුණ දුන් අයුරු පිළිබඳව සිතන විට මට මා පිළිබඳව සතුටු විය හැකි බව මම දැන් සිතන්නේ නිහතමානී ආඩම්බරයකිනි. මන්දයත් අදකාලයේ ආදර සබඳතා බොහෝවිට කෙලවර වනුයේ දෙවන ගමනින් නොව අවසන් ගමනින් වීම නිසාය. එක්කෝ කොල්ලා කෙල්ලට පිහියෙන් අනී. ඉන්පසු ඌද වස පානය කර දිවි නසා ගනී. එසේත් නැතිනම් ගඟකට මුහුදට පනී. නමුත් මට ඔය එකක්වත් හිතුණේ නැත.

මදක් සිතන්න. ආදරය හෝ වේවා, ලව් හෝ වේවා වෙන අන් යමක් හෝ වේවා, එම සබඳතාවයේ අවසන් අරමුණ යුග දිවියක් ඇරඹීම විනා අන් කවරක් වත් නොවේ. සරලවම කිවහොත්, විවාහය යනු මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය, අනිවාර්ය සාධකයක් වූ ලිංගිකත්වයට නෛතික, සමාජයීය හා සංස්කෘතික වටිනාකම් ලබාදීම විනා අන් කවරක් වත් නොවේ. එපරිද්දෙන්ම, ආදරය යනු එම රාමුව තුළට ප්‍රවිෂ්ඨ වීම සඳහා සමාජය විසින්ම සකසා දෙනු ලැබූ මගුල් තොරණක් පමණි.

ආදරය කිරීම වරදක් නොවේ. ආදරයේ විරහව නිසා වැලපීමද වරදක් නොවේ. නමුත් එම කඳුළු වලින් ඔබේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සේදී යාමට ඉඩහැරීම කොතරම් සාධාරණද යන්න මෙහි ඇති එකම ගැටළුවයි. “බොට යන්න ඕනේ නම් මකබෑවියන්!” කියා තමන්ගේ ජීවිතය කෙරෙහි අවධානය යොමුකරනවා වෙනුවට හඬා දොඩා වැලපී, තමුන්ගේ විභාග ප්‍රශ්න පත්‍රය ඇන ගැනීම මට හිතෙන හැටියට නම් සාධාරණ නොවේ. එයින් ඔබ වතුරේ යවන්නේ ඔබේ ජීවිතය හා ඔබේ කාලය පමණක්ම නොවේ. ඔබේ දෙමාපියන්ගේ ඩාදිය කඳුළු සහ ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තුද ඔබ ඒ සමග වතුරේ යන්නට ඉඩ හරින බව නම් කිව යුතුමය. ඔබගේ ජීවිතයේ දිශාව නිර්ණය කල යුත්තේ ඔබ මිසක ඔබ සමග ආදර ගනුදෙනුවකට පැටලීමට පැමිණි අයෙකු නොවේ. එවන් කෙනෙකුට ඔබගේ ජීවිතය පිළිබඳ තීරක බලය ලබාදීමට තරම් ඔබ දුර්වල නම්, එය ඔබ ඔබටම කරගන්නා අපහාසයකි…!