මරණය! ඔව්… මරණය වනාහී අප සියලු දෙනාටම පොදු, සනාතන ධර්මතාවයකි. යමෙකුට අනුව “ජීවිතය යනු සංසාර ගමනේ එක් නැවතුම් පොලක් පමණි. මරණයත් සමග අපි මෙම නැවතුම්පොළ හැරයන්නෙමු”. එය සත්‍යයකි යයි මටද බොහෝ විට හැඟී ගොස් තිබෙන්නකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිද්දෙන්, මෙලොවට අපගේ ආගමනය හෝ ඉන් විගමනය, එසේත් නැතිනම් උත්පත්තිය හෝ විපත්තිය තීරණය කිරීමෙහි අධිකාරිය හිමි නිසි බලධරයා වනුයේ ඔබවත්, මමවත් මෙරට ජනාධිපතිවත් එසේත් නැතිනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවත් නොව ඔබ විසින් කල කර්මයන්ගේ ශක්තියයි. ඔබ මෙලොවට එන්නේද, ඔබ මෙලොව හැරදා නික්ම යන්නේද, ඔබ විසින් කළාවූ හොඳ නරක කර්මයන් විසින් ඔබ උදෙසාම තනන්නට යෙදුනු කැලැන්ඩරයට අනුවය. මෙය කියවන ඔබේ සිතේ අනිවාර්යයෙන්ම මේ වන විට මතුව ඇති ප්‍රශ්නය නම් “අහවල් එකකටද මේ පොර මේ මැරෙන එකක් ගැන කියවන්නේ? මූට ගොක්කොල වත් හීනෙන් පෙනිලද?” යන්නය. ඒ පිළිබඳව මට නම් තර්ක දෙකක් නොමැත. නමුත් මා ඔබට යෝජනා කරනුයේ, ඒ පිළිබඳව සිතීම මදකට පසෙකින් තබා, මෙය ඉදිරියට කියවාගෙන යෙන ලෙසය.

සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රාණීන් ලෙස, අපේ උපත හෝ විපත පිළිබඳ කිසිදු තීරණයක් අපට ගත නොහැකි බව මම ඉහතින් සඳහන් කලෙමි. නමුත් වත්මන් සමාජය හා එහි කල්කිරියාව දෙස විමර්ශනාක්ෂිය හෙලන කල, මොනවට පිළිබිඹු වන යමක් වනුයේ දිනෙන් දින ඉහල යන සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයයි. බිඳ වැටුණු පෙම් සබඳතා, බිඳ වැටුණු පවුල් සංස්ථා, බිඳ වැටුණු බලාපොරොත්තු, විභාග අසමත් වීම නිසා වුණු සිත් තැවුල්, ඒ හා සමගම බැඳුනු සමාජයට මුහුණ දීමේ නොහැකියාව වැනි මෙකී නොකී හේතු කාරණා රාශියක් මත පදනම්ව, බොහෝ පිරිසක් මේ වන විට අකාලයේ මෙලොව හැරගොස් සිටිති. මේ සිද්ධි බොහොමයක් අතුරෙන්, මෑත කාලීනව සිදුවූ ප්‍රබලතම ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් කෙරේ ඔබේ මතකය ගෙන යනු කැමැත්තෙමි. ඒ වෙන අන් කවරක් වත් නොව වෙනූෂා ගේ මරණය පිළිබඳ සිද්ධියයි.

කෙනෙකුට අනුව වෙනූෂා වීරවරියකි. මරණයට පෙරාතුව ඇය සිය අත් අකුරින් ලියූ දුක්බර කතාවට අනුව තම පාසලේ විදුහල්පතිතුමා අන් සිසු සිසුවියන් ඉදිරියේ ඇයට අසැබි වදනින් බැන වැදීම මෙම මරණයට බලපෑ ආසන්නතම හේතුවයි. බොහෝ කලක සිට විවිධ කාරණා මත ඇය වෙත එල්ල වූ පීඩනය, මෙම සිද්ධියත් සමග පුපුරා යාම මෙම සියදිවි නසා ගැනීමට හේතුව බව ඉතාමත්ම පැහැදිලි වේ. කෙසේ හෝ වේවා ඇය මිය ගියාය. නිවැරදිව කිවහොත් තමාව මරණයට පත් කරගත්තාය. ඇය ජීවත්ව සිටියදී ඇය ගැන කතා කළ නොකළ සියළු දෙනාවම “කට කම සිරියාවක් නැතිව” වෙනූෂා! වෙනූෂා! කියන තැනට පත්කරමින්, සිය දෙමාපියන් දිවිතුරා නොසිඳෙන දුක් දොම්නස් සයුරක ගිල්වාලමින් ඇය මෙලොව හැර ගියාය. එතැන් පටන් බොහෝ දෙනා ඇය පිළිබඳව බොහෝ දේ කියූහ. ඇයගේ ගුණ කියූහ. ඇය වෙනුවෙන් වැළපුනහ. එපමණකින් නොනැවතී පාසලේ විදුහල්පති තුමා පිළිබඳවද නොයෙකුත් අන්දමේ අදහස් පළකරන්නට පටන් ගත්හ.

එක් කොනකින් පටන්ගෙන මෙම සිද්ධිය හා සම්බන්ධ කරුණු කාරණා ගැඹුරින් විමසා බලමු. ඊට පෙරාතුව අතිශය අවධාරණයෙන් සඳහන් කල යුතු වැදගත්ම දෙයක් ඇත. එනම්, මා මෙම කරුණු මෙසේ ගොනු කරන්නට ගන්නා වෑයම, සිද්ධිය හා සම්බන්ධ විද්‍යාලයාධිපතිතුමාගේ චරිතයෙහි සුදු හුණු ගෑමක් නොවන බවය. තමුන්ගෙන් අකුරු කරන දැරිවියකට “වේසි” කියා බනින්නට තරම් ඔහුගේ චිත්ත සන්තානය පිරිහී තිබීම ගැන මම අතිශයින්ම කනගාටු වෙමි. එමෙන්ම ඔහුගේ එම ක්‍රියාකලාපය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියාව හෝ නොහැකියාව කවරාකාර වුවද, ඔහු විසින් කරන්නට යෙදුනු ඒ මහා කුසල කර්මයේ මහත් ඵල මහානිසංස යථා කාලයේදී ඔහු කරා ලඟා වනු නොඅනුමානය. නමුත් ප්‍රශ්නය සැබවින්ම ඇත්තේ කොතනදැයි වටහාගත යුතුව තිබේ. එසේනම් ප්‍රශ්නයේ මුල ඇත්තේ කොතනද? මේ පැනයට පිළිතුර වෙනුෂා විසින්ම ලබා දී තිබුණි. නමුත් අවාසනාවක මහත නම් එම පිළිතුර කියවා බැලූ කිසිවෙකුත් මේ දක්වා එහි ඇති සැඟවුණු යථාර්ථය වටහා ගන්නට අසමත්ව තිබීමය. එම ලිපියෙන් පිළිබිඹු වන තිත්ත ඇත්ත වටහාගන්නවා වෙනුවට ලිපියෙහි අන්තර්ගත වචන වලින් කෙලින්ම චෝදනා ලබන චූදිතයා හම ගැසීමට උත්සුක වීමය.

වාර්තා වලට අනුව, ඇය මෙම වසරේ දෙසැම්බර් මසදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි. නමුත් ඇගේ ලිපිය කියවා බලන කල, මට මතු වූ ගැටලුව නම්, ඇගේ අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ රටාවයි. වෙනූෂා උපතින් සිංහල වුවද, ඇය එම ලිපිය තම මව්බසින් ලියා තිබුණද, එහි ඇති වැරදි අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ යෙදුම් ගණනාවක් මට පෙනුණි. වයස අවුරුදු 15 ක දරුවෙකුගෙන් අරිසෙන් අහුබුදු ශූරීන්ගේ මට්ටමේ භාෂා විලාශයක් බලාපොරොත්තු විය නොහැකි බව කෙනෙකුට තර්ක කළ හැකිය. කතාව ඇත්තය. සහතික ඇත්තය. නමුත් සාමාන්‍ය පෙළ මට්ටමේ දරුවෙකු “අසාධාරණ” යන වචනයෙහි අක්ෂර වින්‍යාසය “අසාදාරන” ලෙස යොදයි නම් එය බරපතල තත්වයක් වේ. සෑම දරුවෙකුම පයිතගරස් කෙනෙක් ලෙසින් ගණන් හදන්නටවත්, කුමරතුඟු මුනිදසුන් හෝ නොයෙලින් හොන්ට(ර්) මෙන් භාෂාව හසුරුවන්නටවත් අවශ්‍ය නොවේ. නමුත් අවම තරමින් තම මවුබසෙහි ඇති නිතර දෙවේලේ මුණ ගැසෙන වචන පමණක්වත් නිවැරදිව ලියන්නට උසුරුවන්නට දැනගත යුතු බව නොකිවමනාය. මට හැඟෙන හැටියට නම්, සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා අවම තරමින් සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා ගැනීමට තරම් භාෂා හැකියාවක් වෙනූෂා හට නොමැති බවය. සමහර විට මාගේ මතය වැරදි වීමට ඉඩ තිබේ. ඒ පිලිබඳ තීරණය ගැනීමේ අයිතිය ඉ-පාඨක ඔබ සතුය.

Suicide Note of Venusha - Page 1

ඉහතින් දැක්වෙන්නේ වෙනූෂා ලියා තැබූ දීර්ඝ ලිපියේ මුල් පිටුවයි. එහි ඇති, මා දකින හැටියට ඉතාම මවිතය දනවන වාක්‍ය කිහිපයක් පහතින් උපුටා දැක්වීමට කල්පනා කළෙමි. කරුණාකර මේවා වරක් දෙවරක් නොව කිහිප වරක් කියවා කල්පනා කර බලන ලෙස ඔබට යෝජනා කරනු කැමැත්තෙමි.

  1. මං වරදක් නොකර මට බෑ මගෙ අප්පච්චිව ප්‍රිරින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනෑ කමක් එතන මං කලා නම් කළේ 7 වසරෙදි 4To එක ගහපු එක…
  2. දෙන්නම බේරිලා අයි මට විතරක් අගිල්ල දිග් කරන්නෙ…
  3. කොච්චර ප්‍රශ්න ගොඩාක් ඔළුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෙ නෑ…
  4. මෙච්චර අසාදාරනකම් වෙද්දි මං ගොඩාක් ඉවසුවා තවත් බෑ…
  5. බංඩාර සර් පංති බාර ව දානවා කියලා දැන ගත්ත දවසේ ඉදලා හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා…

එමෙන්ම වෙනූෂා නර්තනයට සමත්කම් දැක්වූවාය. ඇයගේ නර්තන ලාලිත්‍යය බොහෝ අගනේය. දිදුළන මාණික්‍යයක් බඳුය. මැණිකක් වුවද කපා ඔප දමන තුරු එහි අලංකාරයක් නොමැත. එපරිද්දෙන්ම කිසියම් පුද්ගලයෙකු සිය සහජ දක්ෂතාවයන් හා සමගාමීව පොදුවේ අවශ්‍යවන කුසලතාවන්ද වර්ධනය කරගත යුතුය. එසේ නොවුනහොත් එම පුද්ගලයා තුල ඇති දක්ෂතාවන් තඹ දොයිතුවක වටිනාකමක්වත් නැති තත්වයට පත්වේ. කෙසේ වුවද මෙහි මුළු වගකීමම පැටවෙනුයේ මූලිකවම වෙනූෂාගේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, දෙවනුව දෙමාපියන්ටත් ය. නමුත් ඉතින් ඇයව යහමගට ගන්නට පොරොන්දු දුන් විදුහල්පති තුමා ඇයට “වේසි” කියා අමු තිත්ත කුණුහරුපයෙන් බැනවදින්නේ නම්, නොහොත් “වැටත් නියරත් ගොයම් කා නම්” ඒ අමාරුව කියන්නේ කාටද? යන ගැටළුව මතුවේ.

මෙහි ඇති බරපතලම තත්වය ඔය එකක්වත් නොව වෙනූෂා සියදිවි හානි කරගන්නට පෙළඹුණු හේතුවයි. අදාළ විදුහල්පතිවරයා ඇයට සැබවින්ම බැනවැදුනේ නම්, එසේ ඔහුගෙන් බැනුම් අසාගත් පළමු ශිෂ්‍යාව වෙනූෂා නොවන බව මොනවට පැහැදිලි වේ. එසේම දරුවෙකුට කුණුහරුපයෙන් බැනවැදුණු පළමු විදුහල්පතිවරයාද ඔහු නොවේ. අපේ ගුරුවරුන්ගෙන් අපි අසා ඇති බැනුම්, කා ඇති ගුටි පහරවල් අනන්තය. ජීවිතය දිනූ බොහොමයක් අය, ගැටවර වියේදී ගුරුවරුන්ගෙන් “අම්බානක” බැනුම් ඇසූ, ගුටි කෑ නොම්මර එකේ තක්කඩි ඇම්ඩන් කොල්ලන් කෙල්ලන්ය. “වේසි” කියා ප්‍රසිද්ධියේ අසන්නට සිදුවීම දිවි නසාගැනීමට හේතුවක් යයි ඔබට සිතෙන්නේ නම්, ඔබ මනුෂ්‍යාත්ම භවයක් ලැබීමට කිසිසේත්ම නුසුදුසු බව මතක තබාගත යුතුය.

සබඳ! දැන්වත් සිතන්න. බුදුන් වහන්සේ සිය දේශනාවෙහි වදාළේ “මනුසසතතා ලොකෙ අතිවිය දුලලභා හොති” කියාය. එහි තේරුම නම් “මනුෂ්‍යාත්මභවය ලෝකය තුල අතිශයින්ම දුර්ලභ වේ” යන්නයි. එසේ දුර්ලභ, දුක සේ උරුම කරගත් මනුෂ්‍යාත්මභවය, අමනුෂ්‍යයෙකුගේ අමන කතාවක් නිසා අහිමිකරගන්නට තරම් අනුවණ, අදූරදර්ශී තීරණයක් ගන්නට වෙනූෂා පෙළඹුනේ ඇයි? මට ඇති එකම ප්‍රශ්නය නම් එයයි. කරුණාකර, දැන්වත් ඔබගේ හය හතර නොදත් අහිංසක දරුවාට කිසිදා එසේ නොකළ යුතු බව කියාදෙන්න. ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් හා අයිෆෝන් වලට වඩා වටිනා කල්පවතින යමක් ඇතිබව ඔවුන්ට වටහා දෙන්න. අසැබි වදන් වලටවත්, අසමත් ප්‍රතිඵලයකටවත්, බිඳුණු පෙම් සබඳතාවකටවත් වඩා ජීවිතය බොහෝසෙයින් වටිනා බවත් ඔවුන්ට කරුණාවෙන් දයාවෙන් ආදරයෙන් යුතුව පෙන්වා දෙන්න. එය දෙමාපියන්ගේත්, ගුරුවරුන්ගේත් වගකීමයි…!